කට්ටියාර්කුලම් රක්‍ෂිතයේ වන සංහාරය හෙළි කළ ගුරුවරයාට මරණීය තර්ජන

97

වවුනියාවේ ඊචචන්කුලම, කට්ටියාර්කුලම් ප්‍රදේශයේ අක්කර 15 ක වනයේ පිහිටි සියලු දැව කපා ඉවත් කරමින් සිටින පිරිසක් පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට පැමිණිලි කළ පළාතේ ගුරුවරයෙකුට මරණීය තර්ජන එල්ල වී ඇති බවට ඔහු විසින් වවුනියාව පොලිසියට පෙරේදා (25 දා) පැමිණිල්ලක් කොට තිබේ.

මෙම දැව සංහාරය පිළිබඳව අදාළ ගුරුවරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය ලේකම්වරයාට හා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව රාත්‍රී කාලයේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන පිරිසක් ඔහුව මරා දමන බවට තර්ජනය කළේ යැයි ඔහු පොලිසියට පැමිණිලි කොට ඇත.

ඊච්චන්කුලම ප්‍රදේශයේ මෙම වන සංහාරය සිදුවන වනය රජයේ රක්ෂිත කැලෑවක් වන අතර එහි පිහිටි ගස් බලහත්කාරයෙන් කපා දැව කඳන් වාහනවල පටවා ගෙන යෑමට පටන් ගැනීමෙන් පසුව ගුරුවරයා එම සිද්ධිය පිළිබඳව පැමිණිලි කොට තිබේ. වවුනියාව පොලිසියට කළ පැමිණිල්ලට අනුව ගුරුවරයාට මරණීය තර්ජන එල්ල කළ පිරිස සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment