ක්‍රිකට් තහනම දිගු වේ

353

ජාතික කණ්ඩායමට තරග සඳහා යෑමට අවසර

යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඊයේ (21 වැනිදා ) අහමදාබාද් නුවර දී රැස් වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) විධායක මණ්ඩලය තීරණය කර ඇත.

එහෙත් ජාතික කණ්ඩායමට අයිසීසී තරගාවලි සහ ද්වි පාර්ශ්වීය තරග සඳහා සහභාගී වීමට එම තහනම බාධාවක් නොවන බව ද අයිසීසී විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාව වෙත පැවරීමට ද එම කමිටුව ඊයේ තීරණය කර ඇත.

ජනවාරි මස 13 වෙනිදා සිට පෙබරවාරි මස 4 වෙනිදා දක්වා කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් යොවුන් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබිණි. සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය ද එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහභාගි කරවීමට හැකි බවද එම කමිටුව තීරණය කර ඇත. අයිසීසී සාමාජිකයකු ලෙස එහි කටයුතු ස්වාධීනව සහ රජයේ මැදිහත්වීමකින් තොරව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය කඩ කිරීම හේතුවෙන් පසුගිය 10 වැනිදා සිට ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමට අයිසීසී තීරණය කළේය. ඒ අනුව එම තහනම දීර්ඝ කිරීමට අයිසීසී ඊයේ ගත් තීරණයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් සැපයීම අයිසීසී විසින් පාලනය කරනු ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වී ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment