ක්‍රීඩා පනත හා රෙගුලාසි සංශෝධනය කරනවා – ක්‍රීඩා ඇමැති අභියාචනාධිකරණයට දැනුම් දෙයි

174

ජාත්‍යන්තර ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ උපදෙස් ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන්

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තාක්ෂණ කමිටුවේ උපදෙස් ලබාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ සඳහා ඉඩකඩ සලසමින් ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (05 දා) නීතිපතිවරයා මගින් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

2016 අංක 1 දරන ක්‍රීඩා රෙගුලාසි සංශෝධනයට ලක්කර ක්‍රීඩා සංගම්වලට සම්බන්ධ ක්‍රීඩා සමාජ හා අනුබද්ධිත ආයතනවල ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව ව්‍යවස්ථාව සකස් කර නිලවරණ පැවැත්වීමට දින 90 කට පෙර ඒවා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් 2022.10.06 දිනැති ලිපිය මගින් උපදෙස් ලබාදී ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය පැවැත්වීමට පෙර වර්තමාන ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ඇතුළු 12 දෙනකු ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එලෙස පැවසීය. සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි ගොනු කර තිබූ එම පෙත්සම එම්. මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේදී කැඳවිණි.

නීතිපතිවරයා ලබාදී ඇති පෙර කී උපදෙස් සම්බන්ධයෙන් හා ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට ලබාදුන් එකඟතාවය සම්බන්ධයෙන් පැමිණිල්ල සෑහීමට පත්වන බැවින් එහි ප්‍රගතිය අධ්‍යයනය කර සිය පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන තීරණය ඉදිරි දිනයේදී දැනුම් දෙන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා අධිකරණයට පැවසීය. ඒ අනුව එම පෙත්සම ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.

වර්තමාන ක්‍රිකට් ව්‍යවස්ථාව නිසා බාහිර පාර්ශ්වවලින් මෙන්ම දේශපාලන පාර්ශ්වවලින් බලපෑම් එල්ල වීමේ ප්‍රවණතාවක් පවතින බවත් එමගින් ක්‍රිකට් ක්‍රීඩාව පිරිහීමට ලක්වීමේ ඉඩකඩ බහුල බවත් මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලිම් මාර්සුක්, මයිකල් තිසේරා, ඩිනාල් පිලිප්ස් ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වාදී තිබිණි. වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා, ලේකම් මොහාන් සිල්වා, රවින් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව නම් කර තිබිණි.

රජයේ අධිනීතිඥ රාජික අලුවිහාරේ මහතා සමග අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment