කෙලී ගිනිකෙළියකට ආවත් අපේ කෙල්ලෝ පළමු පුහුණුව දිනති

318

2023 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගයෙන් ඊයේ (06 වැනිදා) අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තේය.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 56ක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා ඉනිම පුරාවට පන්දුවට පහරදුන් හර්ෂිතා සිය ඉනිම සඳහා පන්දු 47කට මුහුණ දුන් අතර ඉන් පන්දු හතක් ඇය හතරේ සීමාව කරා යොමු කර තිබුණි.

හර්ෂිතා නායිකා චමරි අතපත්තු සමග පළමු කඩුල්ල සඳහා ලකුණු 46ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර විශ්මි ගුණරත්න සමග දෙවෙනි කඩුල්ල සඳහා ලකුණු 87 ක සම්බන්ධතාවයක් පැවැත්වූවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 150ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට අවසන් පන්දු වාරය තුළ ලකුණු 4ක් ලබාගැනීමට අවශ්‍යව තිබූ අතර සුගන්ධිකා කුමාරි ක්‍රියාත්මක කළ එම පන්දු වාරයේදී අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර සහ ඕෂධී රණසිංහ කඩුලු 3 බැගින් දවා ගත්හ.

කෙසේ වෙතත් අයර්ලන්ත ඉනිමේ අවසාන භාගයේ දී වේගවත් පිතිහරඹයක නිරත වූ අංක 9 පිතිකාරිණී ආර්ලෙන් කෙලී පන්දු 17කදී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් වාර්තා කර ලකුණු 30ක් ලබා අයර්ලන්තය ජයග්‍රහණය සමීපයට ගෙන ආ අතර අවසන් පන්දුවාරයේදී ඇය දුවද්දී දැවී යෑමකට හසුවූවාය.

කෙලී ගිනිකෙළියකට ආවත් අපේ කෙල්ලෝ පළමු පුහුණුව දිනති
advertistmentadvertistment
advertistmentadvertistment