කොමිස් ගහන්න බැරි නිසා සූර්ය සහ සුළං බල ව්‍යාපෘතිවලට ඇතැම් විදුලි ඉංජිනේරුවන් විරුද්ධයි – ජනපති මැතිසබයේදී කියයි

332

සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගැනීමට නොහැකි නිසා එවැනි ව්‍යාපෘතිවලට එදා සිටම ඉංජිනේරුවන් පිරිසක් විරුද්ධ වී තිබෙන බවත් රට මේ තත්ත්වයේ තිබෙන්නේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන්ගේ විරුද්ධත්වය නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“පුනකරි ව්‍යාපෘතිය යටතේ වැවක් හදලා අක්කර 20,000ක් නැවත වගාවට යෙදවීමට අපට අවස්ථාව තිබෙනවා. නමුත් ඔස්ටේ්‍රලියාවේ යුනයිටඩ් සෝලා එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන ආසියාවේ ලොකුම බැටරි මත රඳා පවතින සූර්ය බලශක්ති පද්ධතියක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ පළමු වතාවටයි. ආණ්ඩුවෙන් නම් කිව්වේ මෙගා වොට් 1400ක් දාන්න කියලා. මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. මේ අයට ඕනෑ ගල්අඟුරු, නැත්නම් තෙල්. ගල්අඟුරු සහ තෙල්වලින් කොමිස් ලැබෙනවා. නමුත් සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ.

මෙවැනි ව්‍යාපෘතිවලට එදා සිටම ඉංජිනේරුවන් පිරිසක් විරුද්ධ වී තිබෙනවා. අපි 2003 නොරොච්චෝලේ නතර කළා. මොකද එම ස්ථානය ඊට සුදුසු නැහැ. නමුත් ඔවුන්ට ඕනෑ වුණේ නොරොච්චෝලේ හදන්න. ත්‍රිකුණාමලයේ හෝ වෙනත් ස්ථානයක එම බලාගාරය ඉදිකළා නම් මේ ප්‍රශ්න මතු වන්නේ නැහැ.

අනිත් කාරණය බොහෝ ආයෝජන සමාගම් මෙවැනි ව්‍යාපෘති සඳහා වසර 30ක් – 40ක් ඉල්ලා සිටිනවා. නමුත් අපේ නීතියට අනුව ලබාදීමට හැකියාව තිබෙන්නේ වසර 20ක් පමණයි. එම නිසා එම නීති සංශෝධනය කළ යුතුව තිබෙනවා.

මේ පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ විදිහට රට දියුණු කරන්න බැහැ. අපි මේ තත්ත්වයේ ඉන්නේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් මේවාට විරුද්ධ වූ නිසා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment