කොස්ගොඩ තාරකගේ අනියම් බිරිඳ කුඩු නඩුවෙන් නිදහස්

131

හෙරොයින් කිලෝ පහකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවකින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ යැයි කියන අලුත්ගමගේ නිලංකා රසානි සහ ඇගේ සගයකු වන මොහොමඩ් සෆීර් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (05) නියෝග කළේය.

එවැනි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ වැටලීමක් සත්‍ය වශයෙන්ම සිදුවූයේ දැයි ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව තම අධිකරණයට ගැටලුවක් පවතින්නේ යැයි පෙන්වා දුන් විනිසුරුවරයා එම තීන්දුව නිකුත් කළේය.

කොස්ගොඩ තාරක නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් ඔහුගේ අනියම් බිරිය යැයි කියන කාන්තාවකට භාරදීමට සැලසුම් කර ඇති බවට ලැබුණ තොරතුරක් අනුව 2019 නොවැම්බර් මස 22 වැනිදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී එම වැටලීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සාක්‍ෂිවලින් අනාවරණය වී ඇති නමුත් වැටලීම් පිළිබඳ මනා පළපුරුද්දක් ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විත්තිකාරිය පරීක්‍ෂා කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක් සම්බන්ධ කර නොගැනීම බලවත් ගැටලුවක් බවත් විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

එවැනි මත්ද්‍රව්‍ය තමන් සන්තකයේ නොතිබූ බවට විත්තිය මුල් අවස්ථාවේ සිට ම ප්‍රතික්‍ෂේප කර තිබියදීත් විත්තිය භාරයේ ඒවා තිබූ බවට පැමිණිල්ලේ කිසිදු සාක්‍ෂියක් මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නැතැයි ද විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය තීන්දුව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

නීතිඥ මල්දිනි හේරත් මෙනවිය, නීතිඥ හේෂානි චන්ද්‍රසේකර මෙනවිය සහ නීතිඥ සෙනාල් විජේසිංහ මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ චතුරංග බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

එම වැටලීමේදී විත්තිකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 13කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පැමිණිල්ලෙන් පෙන්වා දී තිබූ අතර රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව අනුව එහි සුද්ධ හෙරොයින් කිලෝ පහක ප්‍රමාණයක් තිබූ බව අනාවරණය වීම නිසා එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment