කොස්ගොඩ සුජීගේ ඥාතියාට අහුංගල්ලේදී වෙඩි තැබීම ලොකු පැටීගේ කල්ලියේ වැඩක්!

169

දකුණු පළාතේ පාතාලය නැවතත් සක්‍රිය කරමින් ඊයේ (11 දා) උදෑසන අහුන්ගල්ල නගරයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයකින් පැමිණි පාතාල සන්නද්ධ කණ්ඩායමක්, ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයකුට පන්න පන්නා වෙඩි තබා මුළු ප්‍රදේශයම භීතියට පත්කරමින් පලාගොස් ඇත.

දෙනෝදාහක් දෙනා බලා සිටියදී එල්ල කළ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබාඇත්තේ දකුණේ පාතාලයේ දරුණුම අපරාධකරුවා ලෙස නම්දරා සිටින කොස්ගොඩ සුජීගේ සමීප ඥාතියෙකි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 31 හැවිරිදි පුද්ගලයා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු මුදල් පොලියට දෙන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ද නිරත වී සිටි අයකු බව පොලිසිය පවසයි.

ලොකු පැටී නමැති පාතාල නායකයාගේ කල්ලිය විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ඉකුත් වසරේදී අහුන්ගල්ල නගරයේදී තරුණයකුට අමානුෂික ලෙස පහරදී තිබිණි.

එම තරුණයා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර ඔහුගේ අනුදැනුම මත මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.

අහුන්ගල්ල නගරයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී එල්ල වූ මෙම ප්‍රහාරයට අදාළ සීසීටීවී දර්ශන පොලිසිය වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ විමර්ශන පවත්වාගෙන යයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment