කෝටි 60ක ගජමුතු අවිස්සාවේල්ලෙන් මතුවේ

245

ඉතා දුර්ලභ ගණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් රුපියල් කෝටි 60 කට විදේශිකයකුට අලෙවි කිරීමට සූදානම් වීමේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

වටිනා ඇතුන් මරා ලබාගන්නා ලද දුර්ලභ ගණයේ ගජමුතු හයක් විදේශිකයකුට අලෙවි කිරීමට යන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත කැරට් 325 ක් සහ 328 බරකින් යුත් ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

ඉන්දියාවේ ඉංජිනේරුවරයකු ලෙස උපාය දූතයකු යොදා වැටලීම කර ඇති බව වැටලීමට එක්වූ නිලධාරියක් කීය.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනුරාධපුර නොච්ච්යාගම ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති වැඩි බරකින් යුත් ගජමුතු දෙකක් මේ අතර වන බවද සඳහන් වේ.

අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන බාලසූරිය (77090), අකිල (92896), පෙරේරා (26823), සේනාරත්න (104643), පො.කො.රි. උදාර (16227), රුද්‍රිගු (94734), මල්ලවාරච්චි (105536), සිල්වා (105529) වැටලීමට එක්වූහ.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment