ගරා යක්ෂ සංකල්පය සහ සිංහල ජන සමාජය

2491

ඇස් වහ, කට වහ, හෝ වහ, අඬෝවැඩියා, අවොල්, දෙවොල් ආදී මනෝමූල පුද්ගල සහ පොදු යහපත සඳහා බලපාන බවට මත සිංහල ජන සමාජයෙහි පවතී. වා, පිත්, සෙම් යන තුන්දොස් සමනය කිරීම දේශීය ආයුර්වේදයේ එක් කොටසක් ලෙස සලකනු ලබන ශාන්තිකර්ම පැවැත්වීමේ අභිප‍්‍රායෝ වෙත්. දැකීමෙන්, කීමෙන් සහ සිතීමෙන් හට ගනු ලබන දෙස්, දොස් ඇස්වහ, කටවහ සහ හෝවහ ලෙස දැක්විය හැකිය. නව නිවාස ඉදිකිරීමේදී, පෙරහැර දන්සැල්, තොරණ් සහ විවිධ මංගල අවස්ථා අවසානයේ එම කාර්යන් සඳහා සහභාගි වන පුද්ගලයන්ගේ සහ එම ස්ථානයන්හි සුභසිද්ධිය උදෙසා ගරා මුහුණු, ගරා නැටුම් භාවිත කරයි. දකුණු පළාතෙහි වෙරළබඩ වැසියන් වාරකන් කාලයේදී ඔවුන්ගේ මත්ස්‍ය වර්ධනය උදෙසා පවත්වනු ලබන අද්‍යයනයේදී දුලබ වූ ශාන්තිකර්මයක් ලෙස ‘‘ගරා මඩුව”/ ‘‘මහ ගරා යකුන් යාගය” හැ`දින්විය හැකිය. මසුන් රංචු පිටින් වැඩි වශයෙන් දැල්වලට හසුවීමේ දර්ශනයන් දැකීමෙන් ඇස්වහ ආදී දෝෂ ඇතිවේ යැයි මතයක් ඔවුන් තුළ පවතියි. අදටත් මසුන් පිරුණු දැල් පිටස්තර පුද්ගලයන් නරඹනවාට ඔවුන් අකමැති වන්නේ එබැවිනි. ගරා නැටුම යනු මංගල්‍යය අවසානයේ දී හෝ ශාන්තිකර්ම අවසානයේ දී වස්දොස් දුරලීමේ අභිප‍්‍රායෙන් පවත්වනු ලබන නර්තන පෙළපාලි කොටසක් බැව් පැවසීම වටී. විශේෂයෙන්ම අං කෙළි, කතුරු ඔංචිල්ලා, පොරපොල් කෙළිය ආදී වූ පත්තිනි දේවතාවිය හා සම්බන්ධ ක‍්‍රීඩා හමාර වන්නේද ගරා යකු මෙනි.

ගරා යකා, ගරා යක්ෂයා, ගරා රාක්ෂ, යන විවිධ නම් වලින් හඳුන්වනු ලබන මෙම යක්ෂ සංකල්පයේ ප‍්‍රභවය සහ විකාශනය වූ ආකාරය කුමක්ද යන්න බොහෝ දෙනෙක්ගේ සිත් තුළ පවතින ප‍්‍රශ්නයකි. යකා ලෙස හැඳින්නුවද මොහු දේව සමූහයා සමග කටයුතු කරන රාක්ෂ නම් වූ යක්ෂයන්ට වඩා උසස් තැනැත්තකු ලෙස ශාන්තිකර්ම ශිල්පීන් දක්වයි.

ගරා යක්ෂ සංකල්පයෙහි ප‍්‍රභවය සම්බන්ධ විවිධ වූ වෘතාන්ත වෙයි. එහි එක් වෘතාන්තයක් වන අසම්මත ආදර ප‍්‍රවාදය මෙසේය. දන්ත නුවර සිංහ කුමරුගේ බිරිඳ වන හංසවතී බිසවට දරුවන් නොමැති වූ අතර ඇතෙකුගේ දළ කපා එම දළයෙන් ඊශ්වර දෙවියන්ගේ රුව කැටයම් කර ඊශ්වර දෙවියන්ට පූජා කිරීමෙන් උපන් කුමරු ‘‘දළ කුමරු” ලෙස හඳුන්වන්නට විය. නිමිති කරුවන් විසින් කුමරු උපන් නැකත පරීක්ෂා කිරීමෙන් අනතුරුව මැයට නැඟණියක් උරුම බවත් මතු කලෙක මොහු තම නැඟණිය සමඟ ආදරයෙන් බැඳී සංවාසයේ යෙදෙන නිමිති ඵල කරන්නට විය. කල්යත්ම පෙරකී නිමිත්ත සඵල කරමින් හංසවතී බිසව රූමත් දියණියකට ජන්මය ලබා දෙන්නට විය. නිමිතිකරුවන්ගේ අනාවැකිය ව්‍යර්ථ වන ලෙස මෙම කුමරිය ගිරි ලෙනක් තුළ ඇති දැඩි කිරීමට රජ යුවල කටයුතු කරන්නට විය. එලෙස ගිරි ලෙනක් තුළ හැදී වැඩුණු හෙයින් ඇයට ‘‘ගිරි කුමරිය” යන නාමය ලැබෙන්නට විය. තමාගේ නැඟණිය පිළිබඳ තතු දැනගත් දළ කුමරුට තම නැඟණිය දැක ගැනීමේ ආශාවක් ඇති විය. ගිරි කුමරිය දකින තුරු දළ කුමරු ආහාර වර්ජිතව කල් ගත කරන්න වූයෙන් සහ එයින් කුමරු මුදා ලීමට යෙදූ සියලු උපක‍්‍රමයන් ව්‍යර්ථ වූයෙන් රජ යුවලට කුමරුගේ ආසාව ඉටු කිරීමට සිදුවිය. මෙම හමුවීම අසම්මත ආදරයක් බවට පත්විය. දෙදෙනාගේ රූප ශ‍්‍රියාවන්ට රාගිකව මත් වූ මෙම සම්බන්ධතාව පිළිබඳ ඉවසිය නොහැකි ලැජ්ජාව නිසා ගිරි කුමරිය ගසක එල්ලී සිය දිවිය නසා ගන්න වූවාය. මියයන විට දරු ගැබක් හටගෙන තිබූ නිසා ඇය ගිරි යකින්නිය ලෙස උපත ලද බවත් මෙයින් සිත් තැවුලට පත් දළ කුමරුද මැරී යක්ෂ වේසයකින් උපත ලැබූ බව එක් ප‍්‍රවාදයකි. ගරා යක්ෂ උපත සම්බන්ධ විවිධ වූ ප‍්‍රවාදයන් පවතී.

කොතරම් ආහාර පාන ගත්තත් මොහුගේ කුස පිරවිය නොහැකි බැව් දැක්වෙන ගරා යකා හා සම්බන්ධ තවත් වැදගත් ප‍්‍රවාදයක් වෙයි. එනම් කන්ද කුමරු සහ වල්ලි යන වැදි කුමාරියගේ විවාහ මංගල්‍යය සඳහා සහභාගි වීමට පත්තිනි මෑණියන්ට ආරාධනය ලැබිණි. මේ බැව් යාග සාහිත්‍යයහි මෙසේ දැක්වෙයි.

සිද්ධ පතිනි වැදිපුර යන්ඩ යනකලා
යුද්ධ එපුර සැම වැදි සෙනඟ එක්වෙලා
යුද්ධ මස් කපති සැම සෙනඟ එක් වෙලා
සිද්ධ පතිනි දෙවියන් දිවැසින්දැකලා

එදා පතිනි වැදිපුර වඩිනා ගමනේ
සදා උපමාව පෙරමග සර සමිනේ
යොදා ඌරු ගෝනුන් ගාතබදිමිනේ
බාධාවක් ලෙසට පෙරමග සරසමිනේ

සරණ මංගල්‍යය සඳහා විවිධ සතුන් මරා දසත එල්ලා සම් වලින් උඩු වියන් සහ පාවාඩ දමා මඟුල් ම`ඩුව සකස්කර තිබූ බැවින් දෙවියන්ට එහි යා නොහැකි තරමේ දුර්ගන්ධයක් සහ අශෝභනයක් එහි වූයෙන් එය පිරිසිදු කරන ලෙස දන්වා ගරා යකුව පිටත් කළ සිද්ධියකි. ගරා යකා එම වැදිපුරයට ගොස් සියලු මස් මාංශ කා දමා කුරුම්බා ගෙඩි දහසක් ද බී එම භූමියට දෙවියන්ට වැඩිය හැකි පරිදි සකස් කර දීමත්, එතරම් ආහාර ගත්තත් තමාගේ කුස පිරී නැති බැව් පත්තිනි දෙවියන්ට කියා සිටීම නිසා පත්තිනි දෙවියන්ගේ ආහාරයෙන් කොටසක් ගන්නා ලෙස ප‍්‍රකාශ කරන්න වූ බැව් දැක්වෙන ප‍්‍රවාදයක් පිළිබඳව ගරා යකුම් නර්තනයේදී කලාත්මක ගායන හා දෙබස් මගින් ප්‍රෙක්ෂකයාට ප‍්‍රකාශකර සිටිය. එම නිසා එකී ප‍්‍රවාදයට අනුව පත්තිනි මෑණියන් උදෙසා පවත්වනු ලබන සෑම ශාන්තිකර්මයක්ම පාහේ ‘‘ගරා යකා” උදෙසා පුද දීම සිදුකරයි.

යාග අවසානයේ සිදුකරනු ලබන මෙම නර්තනයේදී ගරා යකාගේ පිට වරල නම් වූ ගොප් කොළ නිර්මාණය ගරා යකාගේ කොණ්ඩය සංකේත රූපණය කරයි. මෙම සැරසිල්ල මගින් ආතුර කාන්තා පාර්ශ්වයේ හිසේ සිට පාදාන්තය දක්වා දොස් දුරු කරයි. පුරුෂ පාර්ශ්වයේ දොස් දුරු කිරීම සඳහා අඹ කොළ යොදා නිර්මාණය කරනු ලබන අතු මිටි දෙකක් යොදා ගනු ලබයි. මෙහි දී සියලු ආතුර පෙළ වාසීන්ගේ දොස් ගරා යකුගේ වේෂයෙන් රඟ දක්වන ශිල්පියා වෙතට ගෙන පිටසක්වලට පිටත් කිරීමේ පරමාර්ථයෙන් ‘‘වෙස් පෑම” නර්තනය කරන බවට මතයක් සිංහල ජන සමාජයෙහි පවතී. සංශ‍්‍රීකත්වය, වස් දොස් දුරුකිරීම, මත්ස්‍ය වර්ධනය, ගරා යක්ෂයාගෙන් පොදු ජනයා අපේක්ෂා කරයි. ගව සම්පත් ආරක්ෂාවද මෙහි දී විශේෂ වෙයි. ගරා මඬුව නම් වූ ශාන්තිකර්මයේදී එකී ගව සම්පත් උදෙසා නර්තනය කරනු ලබන ‘‘ලාග පොළේ නැටුම” සුවිශේෂී වෙයි.

‘‘ඉසේ මිණි මකුටත් – සිරස නයි පෙන තුනෙන් බබළත්
ඇස් ගෙඩි ගොපලු මෙන් – දෙතොල රත් පැහැ සුදුව දල දත්”

ගරා යකාගේ ස්වරූපය පිළිබඳ අදහසක් ඉහත කවියෙන් දැක්වෙයි. මෙම ස්වරූපයෙන් සියලු සම්පත් සහ වස්තූන් සඳහා ඔහු ඇල්ම බැල්ම හෙළීමෙන් කිසිදු දොසක් නොමැති බවත්, එමගින් අන් කිසිදු පුද්ගලයකුගේ නේත‍්‍ර දෘෂ්ටියක් නොලැබෙන බවටද මතයක් පවතී. ගරා මුහුණ රූපයක් එල්ලීම මගින් යම් කිසි ස්ථානයක සහ එහි වාසීන්ට ඇස් වහ, කට වහ ආදී කිසිදු දොසක් ඇති නොවන බවත් සහ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කිරීම මානුෂික සහ අධි මානුෂික බලපෑම් අවම වන බවට විශ්වාසයක් සිංහල ජන සමාජයෙහි පවතී. අඳුන් ගරා, සඳුන් ගරා, සොහොන් ගරා, දේශ ගරා, පුෂ්ප ගරා, කන ගරා, උමා ගරා, ලවුනා ගරා, වාත ගරා, තොට ගරා, කීල ගරා, කීලි ගරා ආදි දොළොස් අවතාරයකින් ගරා යකා පෙනී සිටින බවත්, මෙම යක්ෂ සංකල්පය ඇදහීමෙන් සියලු වස් දොස් දුරලා ආරක්ෂාව සහ සංශ‍්‍රීකත්වය ළඟා කරගත හැකි බවට දැඩි විශ්වාසයක් සිංහල ජන ප‍්‍රජාව අතර පවතී.

ඞී. එල්. අයි. එස්. රන්චාමර
බාහිර කථිකාචාර්ය,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment