ගල්කිස්ස හෙල්ලූ නමගිය අපරාධකරු පොලිසිය දකිද්දී කුණු ඇළට පැන පිහියෙන් ඇනගෙන

241

ගල්කිස්ස ප්‍රදේශයේ විවිධ අපරාධ සිද්ධීන් හා ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට යෑමේදී ගඩොල්වලින් සෑදූ බංකරයක වැනි ස්ථානයක සැඟවී රැඳී සිටි සැකකරු පොලිස් නිලධාරින් දැක බියට පත්වී

පලාගිය බවත්, එම පුද්ගලයා ලුහුබඳිමින් අත්අඩංගුවට ගැනීම සඳහා දිව යන අතරතුර පලා යමින් සිටි පුද්ගලයා මාර්ගය අසබඩ පිහිටි අපජලය ගලා යන ඇළකට පැන තියුණු උල් පිහියක් ගෙන උදරය ප්‍රදේශයට ඇණ ගනිමින් බරපතළ තුවාල සිදු කරගෙන ඇත. සැකකාර පුද්ගලයා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පෙරේදා (21 දා) සවස පොලිස් භාරයට ගෙන උදරයේ ඇති තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල රෝහලට) ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

ගල්කිස්ස, බටපඳුරුවත්ත, ටෙම්පලර්ස් පාර, කලාපුර වැනි ප්‍රදේශයන්හී දීර්ඝ කාලයක් තිස්සේ දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී විවිධ අපරාධ සිද්ධීන් කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම සිදුවීම සිදුවූ බව පොලිසිය පවසයි. මොහු ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බව පොලිසිය කියයි. පොලිසිය දකිද්දී සැකකරු දිව ගොස් එකවරම අප ජලය ගලායන කුණු ඇළට පැන තියුණු ආයුධයකින් තම උදරය ප්‍රදේශයට ඇනගත් බවත්, එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගේ සහය ලබාගනිමින් ඇළෙන් ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල වෙත යොමුකළ බවත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහු පැවසීය.

රෝහල් ගතකර සිටින තුවාල ලද සැකකරුගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සැකකාර පුද්ගලයා විටින් විට ගෙවල් බිඳුම් හා අපරාධ සිද්ධීන්වලට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැරදිකරුවී කිහිප වතාවක්ම බන්ධනාගාර ගතවී සිටි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ප්‍ර.පො.ප. දිලීප. සී. පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. නාලක අලහකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. (61189) රත්නායක, පො.කො. වරුන් වන (71341) ගුණවර්ධන, (9026) ගමගේ, (51508) උදයංග, (78800) ශිවංක යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
එස්. ඩී. අබේසිංහ – මහරගම සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment