ගාසාහි රෝගීන් වැඩි පිරිසක් මිය යෑමේ අවදානමක්

192

ඊශ්‍රායල- හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ අක්‍රියව පවතින සෞඛ්‍ය සේවාව නැවත ස්ථාපිත නොකළහොත් එම තීරයට එල්ල වන බෝම්බ ප්‍රහාරවලින් මිය යන පිරිසට වඩා වැඩි පිරිසක් එහි පැතිර යන දැනට ප්‍රතිකාර පහසුකම් නොමැති රෝගවලින් මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.

ගාසා තීරයේ පසුගිය දිනවල පැවැති සටන්වල ප්‍රතිඵලයක් ලෙස බිඳ වැටී අක්‍රියව පවතින රෝහල් සේවාවන් නිසා ගාසා තීරයේ ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන පාචනය, ශ්වසන රෝගවලට මෙන්ම පිළිකාවන් වැනි බෝ නොවන රෝගවලට ද ප්‍රතිකාර කිරීම මෙම දිනවල අසීරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මේ වන විට පාචනය හා ශ්වසන රෝගවලට ගොදුරු වූ ළමුන්ගෙන් ගාසා තීරයේ තිබෙන එක්සත් ජාතීන්ගේ කඳවුරු පිරී ඉතිරී ගොස් ඇති බවත් එම කඳවුරුවල මේ වන විට ගාසා වැසියන් මිලියන 1.1 ක් පමණ දෙනා රැකවරණය ලබන බව වාර්තා වී තිබේ. මේ අතර කටාර්, ඊජිප්තු හා ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම යටතේ දින දෙකකින් දීර්ඝ කර ඇති ඊශ්‍රායල-හමාස් සටන් විරාමය යටතේ ඉකුත් දින දෙකේදී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි ඊශ්‍රායල කාන්තාවන් හා ළමුන් 20 දෙනකු හා ඊශ්‍රායලයේ සිරගෙවල්වල සිර කර සිටි කාන්තාවන් හා තරුණයන් 60 දෙනෙකු නිදහස් කර තිබිණි. දින දෙකක කාලයක් සඳහා දීර්ඝ කරන ලද ඊශ්‍රායල-හමාස් සටන් විරාමය ඊයේ (29) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි. මේ අතර මෙම සටන් විරාමය ස්ථීර සටන් විරාමයක් බවට පත් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment