ගින්නට බැරිවූ දේ

646

(අදට යෙදෙන මහ සිකුරාදා නිමිත්තෙනි.)

මීට අවුරුදු දෙදහසකට පමණ පෙර පැවති ප්‍රාථමික සහ සාහසික සමාජ ක්‍රමය තුළ අලුත් ආගමක්, අලුත් දර්ශනයක්, අලුත් මතවාදයක් යනාදිය කතා කිරීම බෙල්ල ගැලවෙන වැඩක් වී තිබිණ. එකල ලෝකය පාලනය කරන ලද්දේ රජවරුන් නොව මිථ්‍යාදෘෂ්ටික පූජකයන් විසිනි. එය මේ ආකාරයෙන් විස්තර කළ හැකිය. කිසියම් මිථ්‍යා විශ්වාසයක් හෝ යකකු හෝ එවැනි සාහසික බලවේගයක් මගින් පූජකයා පාලනය කරනු ලැබේ. පූජකයා රජු පාලනය කරයි. රජු විසින් ජනතාව පාලනය කරනු ලැබේ. ඒ අතර කිසියම් පුද්ගලයකු විසින් අලුත් දර්ශනවාදයක් ප්‍රකාශයට පත්කළ කල්හි ඔහු අල්ලාගෙන අවුත් වධයට පත්කර හිස ගසා මරා දමනු ලැබේ. මීට අවුරුදු 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රමුඛ ධර්මයක් දේශනා කළ විට එතෙක් සිටි යල් පැනගිය දෙවිවරුන්ගේ ගෝලයන්ගේ බ්‍රාහ්මණයන් විසින් යුද ප්‍රකාශ කරන ලදි. මීට අවුරුදු 2023කට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් අලුත් දර්ශනයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ විසූ ගොන් රජවරු ද නරුම මිනිස්සුද එක්ව කුරුසියේ තබා ඇණ ගසා උන්වහන්සේ ඝාතනය කළහ. මිනිසකු කුරුසයේ තබා ඇණ ගැසීම යනු දීර්ඝ කාලීන වධයකි. එසේ ඇණ ගැසීමෙන් හටගන්නා තුවාලවලින් කෙනෙක් එකෙනෙහිම මියයන්නේ නැත. ඒ පුද්ගලයා මියයන්නේ විජලනය සහ අධික ලේ වහනය හේතුවෙනි. සමහර විට කුරුසියේ ඇණ ගසා දවස් තුන හතරක් යන විට අදාළ පුද්ගලයාට පිටගැස්ම හැදේ. එසේ පිටගැස්ම

නොහැදුනොත් ඔහු මියයන්නේ සෑහෙන දින ගණනාවක් දුකක් අනුභව කිරීමෙන් පසුවය. මීට අවුරුදු 1500කට පමණ ඉහතදී මහම්මත්තුමා විසින් දෙවියන් මූලික කරගත් අලුත් දර්ශනයක් ඉදිරිපත් කළ විට ඊට විරුද්ධ වූ පූජක පැලැන්තිය කඩු අමෝරාගෙන ඔහු මැරීමට පැමිණියහ. 19 වැනි ශතවර්ෂයේදී පර්සියාවේ ජීවත්වූ මහාඋල්ලා නමැති යතිවරයෙක් අලුත් ආගමක් ඉදිරිපත් කළේය. වහාම ඔහු අත්අඩංගුවට ගත් පර්සියානු පාලකයන් සහ එම පාලකයන්ට ඡන්දය දුන් ජනයා එතුමා ඝාතනය කළහ. මේ ප්‍රධාන සිද්ධීන්වලට අමතරව මධ්‍යකාලීන යුගයේදී යුරෝපයේ පහළවූ දාර්ශනිකයන් විශාල පිරිසක් විවිධ අලුත් මතවාද සහ දර්ශන ඉදිරිපත් කළහ. එහිදී ඔවුන් අත්අඩංගුවට ගත් පාලකයෝ ඔවුන්ගේ හිස් ගසා මැරීමට හෝ ඔවුන් පණපිටින් පිළිස්සීමට හෝ තීන්දු කළහ. මේ මිනිසුන් මරණයෙන් බේරුණේ තම දර්ශනය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගැනීමෙනි. පෘථිවිය, සූර්යයා වටා භ්‍රමණය වන බව ප්‍රකාශයට පත් කළ තාරකා විiාඥ ගැලීලියෝ ද එම මතය නිසා අලි අමාරුවක වැටුණේය. ඔහුට එරෙහි වූ ඉතාලියේ පාලක පංතිය නියෝග කළේ ඔහු වස පානය කර මිය යා යුතු බවය. ගැලීලියෝ ජීවත්ව සිටි සමයේ යුරෝපීය පූජකයෝ ගොං මතවාදයක් ප්‍රකාශ කර තිබුණාහ. ඔවුන් කීවේ පෘථිවිය වටා සූර්යයා පරිභ්‍රමණය වන බවය. ඊටත් අමතරව පෘථිවිය ගෝලාකාර නොවන බවත් සමතලා භූමියක් බවත් ඔවුහු කීහ. ගැලීලියෝ ඔහුගේ මතය ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් ඉතාලියේ සිටි පූජකයන් ද, රජවරුන් ද, මහජනතාවගෙන් කොටසක් ද ඇතුළත්ව සෑදුනු මීහරක් රැල ස්ථිර වශයෙන්ම ගැලීලියෝ මරනවා ඇත.

අද කතෝලිකයන්ට උතුම් වූ මහ සිකුරාදා දවස වේ. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන්නේ මීට අවුරුදු දෙදහස් ගණනකට පෙර අද වැනි දවසකය. ක්‍රිස්තුස් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඒ වන විටත් ගස් ගල් සහ මළපෙරේතයන් සමග ගනුදෙනු කරමින් සිටි ඊශ්‍රායලයේ පූජකයන්ට මැජික් එකක් විය. කිතු දහම දුරදිග ගියොත් ජනතාවගෙන් තමන්ට ලැබෙන ගාස්තුවත් රජතුමාගෙන් ලැබෙන ෆන්එකත් නැතිවනු ඇතැයි කල්පනා කළ පූජක පැලැන්තිය ක්‍රිස්තුස් වහන්සේ මරාදැමීමට තීරණය කළහ. මේ සඳහා ජනතාව අතර වසන්වී සිටි ක්‍රිස්තුස් වහන්සේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විය. එසේ අත්අඩංගුවට ගැනීම සඳහා එකල පැවති රෝමන් ආණ්ඩුවට ඔත්තු සපයන්නේ ක්‍රිස්තුස් වහන්සේගේම ගෝලයෙකි. මෙවැනි පාවාදීම් ලෝක ඉතිහාසය පුරාම තිබේ. අන්තිමේදී ක්‍රිස්තුස් වහන්සේ අත්අඩංගුවට ගත් රෝමන් හමුදාව නඩුවක් අසා කුරුසියේ ඇණ ගසා ඔහු මැරූහ. එහෙත් කිතු දහම ඉතා රහසේ ඊශ්‍රායලය පුරා පැතිරෙන්නට පටන්ගත්තේය. මේ බව ඉතා පරෙස්සමෙන් අධ්‍යයනය කළ රජෙක් එකල ජීවත් විය. ඔහුගේ නම නීරෝය. ඒ වන විට ඊශ්‍රායලය, පලස්තීනය, රෝමය පුරා ක්‍රිස්තු භක්තිකයන් දහසක් පමණ සිටියහ. මෙයින් 750ක් ම වාසය කළේ රෝමයේය. මේ පිරිස සමූල ඝාතනය කිරීම සඳහා රෝම අධිරාජ්‍යයා වූ නීරෝ උපායක් කල්පනා කර ඒ ක්‍රියාත්මක කරන ලදි. ඒ වූකලී එක්තරා රාත්‍රියකදී තම ගෝලයන් ලවා රෝමයට ගිනි තැබීමය. එකල රෝම නගරය දැවවලින් සෑදූ පේළි ගෙවල්වලින් සමන්විත විය. මෙවැනි පේළි ගෙවල් දහස් ගණනක් එහි විය. නීරෝගේ ගෝලයන් තැන් තැන්වල පිහිටි පේළි ගෙවල්වලට ගිනි තබන ලද අතර ඉතා ඉක්මනින් ගින්න පැතිර ගොස් ගෙවල් අළු විය. ගින්නෙන් බේරීමට පුළුවන් එකා එළියට පැනගත් අතර අනෙක් උන් අළු බවට පත් විය. මේ සිදුවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අභාවයෙන් අවුරුදු 64කට පසුවය. එනම්, ක්‍රිස්තුස් වහන්සේගේ අභාවයෙන් අවුරුදු 64ක් ගතව යද්දීත් කිතු දහම රෝම රජවරුන්ට වාතයක්ව තිබූ බවය. රෝමය අළු වූ පසු එම ගින්න ඇතිකරන ලද්දේ ක්‍රිස්තියානිකාරයන් යැයි කිවූ නීරෝ රජු ඒ සියලු දෙනාම අල්ලා මරා දැමුවේය. රෝමය ගිනිගන්නා විට නීරෝ වීණාවක් වාදනය කරමින් සතුටින් සිටි බව අසා ඇතිවා විය හැකිය. නීරෝ එසේ සතුටු වනුයේ තම ප්ලෑන් එක හරියටම ක්‍රියාත්මක වූ බැවිනි.

එහෙත් කිතු දහම නැසීමට ගින්නට බැරිවිය. මේ වනවිට ලෝකයේ වැඩිම පිරිසක් අදහන ආගම බවට කිතු දහම පත්ව තිබේ. බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු උන්වහන්සේ දේශනා කළ දහම නැසීමට බ්‍රාහ්මණයන් කොතරම් තැත් කළ ද බුදුදහම අදටත් නොනැසී පවතී. ඉස්ලාම් ආගම පිළිබඳ කතාවත් මේ හා සමානය. මහාඋල්ලාතුමා ඝාතනය කළ නමුදු උන්වහන්සේ දේශනා කළ ධර්මය අදහන මිලියන 3කට වැඩි පිරිසක් අදටත් ලොව සිටී. මෙහි රහස කුමක්ද?

advertistmentadvertistment
advertistmentadvertistment