ගුරු වැටුප් ගැටලු ලිහන්න අයවැයෙන් මුදල් – ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත

172

මෙරට පාසල් පද්ධතියේ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරීමටත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිඟ වැටුප් ගෙවීම සඳහාත් එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා මුලතිව් මල්ලාවී විද්‍යාලයේදී පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ මුලතිව් මල්ලාවි විද්‍යාලයේ කෘෂිකර්ම ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය, ආණ්ඩුකාර කාර්යාලය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු ආයතන රැසක සහය ඇතිව උතුරු පළාතේ පාසල් 150ක් ඉලක්ක කර ගනිමින් ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගාව ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම ගැටලුව විසඳීම නව තාක්ෂණික දැනුම ගොවි ජනතාවට ලබා දීම, කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශන ක්‍රියා ලබා දීම මෙම ප්‍රදර්ශන භූමියේ දී සිදු වෙයි.

පාසල් දරුවන් දසදහසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එම දරුවන් සඳහා දිවා ආහාරය ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට පාසල් 87ක් සඳහා රුපියල් එක් ලක්‍ෂ පනස්දහසක මුදලට අදාළ චෙක්පත් ප්‍රදානය ඇමැතිවරයා අතින් සිදු විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා අධ්‍යාපන ගැටලුවල දී උද්ඝෝෂණ හා විරෝධතාවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යය බව සලකා සාකච්ඡා මාර්ගයෙන් විසඳීම වඩාත් සුදුසු බව ද පැවසීය.

මෙම අවස්ථාවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය, අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහන් දීලිපන් යන මහත්වරුද සහභාගි වූහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment