ජනතාව පැත්තෙන් කතා කරන නිසා මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් හමුදා පැය 24න් ඉවත් කරලා

366

වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි

දේශපාලකයන්ගේ පැත්තේ නොසිට, ජනතාවගේ පැත්තේ සිට කතා කරනවා කියලා, මිහින්තලා රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කරන ලෙස රජය විසින් නියෝග ලබාදී ඇති බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.

ඊයේ (3දා) මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

“මේ වන විට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. මේ වන විට ධාතු මන්දිරයේ ප්‍රධාන දොරවල් ගලවා තිබෙනවා. මෙහි සර්වඥ ධාතුන්, මිහිඳු මහරහතන් මහ රහතන් වහන්සේගේ ධාතුන්, රත්තරන් කරඬු, වටිනා පිළිම රැසක් තැන්පත් කර තිබෙනවා. පැය විසි හතරක් තුළ ආරක්ෂක අංශ ඉවත් කරලා එම වස්තුන්වලට යම්කිසි හානියක් සිදු වුවහොත් රජය එහි වගකීම භාර ගත යුතු වනවා.

මේ පූජා භූමියේ මේ වන විට මිහිඳු මහා සෑය යළි ඉදි වෙමින් පවතිනවා. එහි ශ්‍රම දායකත්වය නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය විසින් සිදු කරනවා.

අෂ්ඨඵල බෝධීන් වහන්සේගේ බෝධි ප්‍රාකාරය හැදෙමින් පවතිනවා, ධර්ම ශාලාවේ ප්‍රාකාරය, යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් විසින් සිදු කරගෙන යනු ලබනවා. මේවට මුදල් ලැබෙන්නේ, ලෝකයේම සිටින බෞද්ධ, ක්‍රිස්තියානි හින්දු, ඉස්ලාම් ජනතාවගෙන්. ඕනෙ නම් බුද්ධි අංශවලට හොයා බලන්න පුළුවන්.

මේ ආරක්ෂක අංශ ඉවත් කිරීම සම්බන්ධයෙන් මට දැනුම් දීමක් කරලා නැහැ. ඒ වුණාට නියෝග නිකුත් කරලා මැසේජ් යවලා තිබෙනවා.

විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, ආචාර්යවරුන් සමග පෙරේදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. මේ අසීමාන්තික බදු පැනවීම සම්බන්ධයෙන්, එම පුවත ප්‍රචාරය වෙලා පැය කිහිපයක් යන කොට ආරක්ෂක අංශ ඉවත් කරන්න නියෝග ලබාදී තිබෙනවා.”

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment