බුදුදහම පමණක් නොව කලාවත් අපට දායාද කළ අසල්වැසියා

194

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් පවතින්නේ ඉතා යහපත් මිත්‍රශීලී සම්බන්ධතාවයකි. දෙරට එකිනෙකින් වෙන්වනුයේ ඉන්දියන් සාගරයේ පිහිටා ඇති පෝක් සමුද්‍ර සන්ධිය හරහාය. රටවල් දෙකම භූගෝලීයව දකුණු ආසියාව තුළ උපක්‍රමශීලීව වැදගත් ස්ථානවල පිහිටා තිබීම නිසා, ඉන්දියන් සාගරයේ පොදු ආරක්ෂක පත්‍රයක් (Common Security Umbrella) නිර්මාණය කිරීමටද දෙරටේම අවධානය යොමුව තිබෙයි. ඊට අමතරව ශ්‍රී ලංකාව, ලෝකයේ අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික ලෙස සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතිකමය වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතා අතර ඉතිහාසමය සහ සංස්කෘතිකමය වශයෙන් ගත් කළ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වැදගත් සම්බන්ධතා රාශියක් පවතී. එයින් ප්‍රධානතම සබඳතාවය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දායාද වූ නිර්මල බුදු දහමයි.

දීපවංශය වැනි වංශකතාවල සඳහන් පරිදි එවක ශ්‍රී ලංකාව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහ තෙරුන් විසින් ක්‍රි. පූ. 2 වැනි සියවසේදී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන එන ලදී. තමන් සරණ ගිය බුද්ධ ධර්මය ලොව පුරා පැතිරවීම එවක ඉන්දියාව පාලනය කළ අශෝක අධිරාජ්‍යයාගේ පරම අභිලාෂය විය. එහෙයින් තම පුතණුවන් වූ මිහිඳු හිමි ශ්‍රී ලංකාවට ගොස් ශ්‍රී ලංකා වාසීන්ට බුද්ධාගම හඳුන්වාදිය යුතුය යන්න අශෝක අධිරාජ්‍යයාගේ තීරණය විය. අවසානයේදී මිහිඳු හිමිගේ ලංකාගමනයත් සමඟ දෙවන පෑතිස් රජු හා එහි වැසියන් බෞද්ධයන් බවට පත් විය. එහිදී මහින්දාගමනය කේන්ද්‍ර කර ගෙන ඇති වූ සිද්ධීන් සහ මිහිඳු හිමි සහ දේවානම් පියතිස්ස රජතුමා මුණගැසීමද සිංහල ඉතිහාස කථාවල ඉතා වැදගත් ස්ථානයක් ගනී.

තවද වංශකතාවල සඳහන් පරිදි “අනුලා” බිසව සහ රජ මැඳුරේ තවත් කාන්තා පිරිසක් බුදු සසුනේ භික්ෂුණීන් ලෙස පැවිදි වීමට දේවානම්පියතිස්ස රජුගෙන් අවසර ඉල්ලා සිටි අතර එය යථාර්ථයක් බවට පත් කරමින් ධර්මාශෝක අධිරාජ්‍යයා තම දියණිය වන සංඝමිත්තා තෙරණිය හා තවත් භික්ෂුණීන් පිරිසක් ලංකාවට පිටත් කර හරින ලදී. මෙම පිරිස මුල් වීමෙන් ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ විය. එපමණක් නොව, සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමනේදී ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වන්දනමාන කිරීම සඳහා ඉන්දියාවේදී බුදුන් වහන්සේ බුදුවීමේදී සෙවණ දුන් බෝධියේ රෝපණය කරන ලද දක්ෂිණ ශාඛාවක්ද ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. පසුව එය අනුරාධපුරයේ රෝපණය කරන ලදී.

ඊට අමතරව දෙවන පෑතිස් රජුගේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරාමයන් පිහිටුවන ලද අතර එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි. පූ. 30 දී පමණ ලේඛනාරූඪ කරන ලදී.

ශ්‍රී ලංකාවේ බුදුදහම ථේරවාදයට ඇතුළත් වන අතර වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූයේ ථේරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථේරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. මෙලෙස මිහිඳු හිමියන් විසින් දෙවන සියවසේදී බුදු දහම හඳුන්වා දීමෙන් අනතුරුව එය වැඩිම කාලයක් ව්‍යාප්ත වූයේ සහ සංඝයා වහන්සේලා වැඩි ප්‍රමාණයක් බිහි වූයේ ශ්‍රී ලංකාවේ පමණි. එය මේ වන විට අවුරුදු 2500 කටත් වඩා ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී ඇත. ඊට අමතරව ආර්ථික, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික කාරණාවලදී අසල්වැසි ඉන්දියාවේ කාරුණික මැදිහත් වීම ශ්‍රී ලංකාවට නොමඳව ලැබී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කලා හා සංස්කෘතික කටයුතු සඳහා ඉන්දියාවේ දායකත්වය මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වකවානුවේදී ඉන්දියාව දැක්වූ ආර්ථික සහයෝගිතාවය නොවන්නට ශ්‍රී ලංකාව මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී ඇතුවා නොඅනුමානය.

ශ්‍රී ලංකාව කෙරෙහි පමණක් නොව කලාපයේ අනෙකුත් රටවල් කෙරෙහිද ඉන්දියාව දක්වනුයේ නම්‍යශීලී “හිත හොඳ” ප්‍රතිපත්තියකි. ඊට කදිම උදාහරණයන් බොහොමයකි. එයින් ප්‍රධාන තැනක් ගනුයේ ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා හිමියන් අද වන විට ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ධරම්ශාලා නගරය සිය වාසභූමිය කොට සිට ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කිරීමය. මේ පිටුපස ඇත්තේ ඉන්දියාවේ කාරුණිකත්වය පිළිබඳ අපූරු කතාවකි.

අද වන විට ලොව පුරා සිටින ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ බැතිමතුන් හා අනුගාමිකයන් උන්වහන්සේ බැහැදැකීමට ඉන්දියාව වෙත පැමිණෙන අතර ඒ නිසාම වර්තමානය වන විට ඉන්දියාව ලොව පුරා ජනතාවගේ නොමඳ අවධානයට පාත්‍රව ඇත.

බොද්ධාගමික රටක් ලෙස එය අපටද ඉමහත් ගෞරවයකි. අද වන විට ඉන්දියාව ලෝක සිතියමේ කැපී පෙනෙන රටක් ලෙස ඉදිරියට පැමිණ ඇත. කලාව හා රසාස්වාදය අතින් ගත් කළ ලොව ප්‍රමුඛතම සිනමා කර්මාන්තයකට ඉන්දියාව හිමිකම් කියනු ලබන අතර දැනුමින් හා බුද්ධියෙන් සපිරි මානව සම්පතක් ලොව පුරා රටවල් හි විවිධ ආයතන හා සමාගම්වලට සිය සේවය සපයයි. අල්පෙනෙත්තේ සිට ගුවන් යානය දක්වා වූ නිපැයුම් දහස් ගණනක් ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් මතින් සවිමත් මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන ඇති ඉන්දියාව වෙතින් අප ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. එමෙන්ම ඉදිරියටද හැකි සෑම විටම ඉන්දියාවේ නොමසුරු දායකත්වය ශ්‍රී ලංකාවට ලැබෙන බව අපට විශ්වාසය.

සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment