පාසල් දරුවන්ට සපත්තු සමග ලබන වසරේ සිට සිසුවියන්ට සනීපාරක්‍ෂක තුවා ලබා දෙනවා

52

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

පාසල් දරුවන් සඳහා සපත්තු ලබාදීමේ ව්‍යාපෘතියට අමතරව ලබන වසරේ සිට ගැහැනු ළමයින් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27දා) පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගිජන බලවේගය මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ළමා සහ කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මියගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා සනීපාරක්ෂක තුවා නොමැතිකමින් ගැහැනු දරුවන් විශාල පිරිසක් පාසල් යෑමෙන් වැළකෙන බැවින් එම තුවා ලබාදීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දුන් ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ කීවාය.

අවුරුදු 12ත් 18ත් අතර වයසේ සියලුම පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දිය යුතු බවත්, රජය සමග ඉදිරියේදී මේ පිළිබඳව කතා කරලා මුදල් ලබා දෙන ලෙසත් මම යෝජනා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තමයි ඒක කරන්න ඕනා. දැනටමත් අධ්‍යාපන ඇමැතිතුමා යම් වැඩපිළිවෙළක් ගැන කතා කර තිබෙනවා කියලා මම දන්නවා.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා –

අධ්‍යාපන වැය ශීර්ෂය යටතේ ඒක හෙළි කරන්න හිටියේ. මේ වන විට මම සී.එස්.ආර්. ව්‍යාපෘතියකින් සාමාන්‍යයෙන් බාලිකාවන් ලක්ෂ 12කින් අඩුම තරමේ ලක්ෂ 10 කටවත් අවශ්‍ය වෙනවා නම් අපි බලන්නේ අඩුම තරමින් ලක්ෂ 03 කින්වත් ආරම්භ කරන්න. එහිදී ග්‍රාමීය දරුවන්ට ප්‍රමුඛතාව ලබා දීලා මේ කටයුත්ත කරන්න. ඒ වගේම සපත්තු ලබා දීමේ ව්‍යාපෘතිය ලබන 04 වැනිදා සිට ආරම්භ කරනවා. අතිදුෂ්කර, දුෂ්කර සහ හුදෙකලා ලෙස දරුවන් හත්ලක්ෂ හතළිස් දහසක් වෙනුවෙන් තමයි එය තෝරගෙන තිබෙන්නේ. ඒ වගේම දැන් මෙතුමා කියන යෝජනාව ලබන අවුරුද්දේ සීඑස්ආර් ව්‍යාපෘතියක් ලෙස පටන් ගන්නවා. රජයේ මුදලුත් ලැබුණොත් සියලුම දරුවන්ට දෙන්න පුළුවන් වෙයි.

ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා – අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් කළා. සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් පරිසර ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒ නිසා අලුතින් කප් එකක් හඳුන්වා දෙන්න යෝජනාවකුත් තිබෙනවා. ඒ ගැනත් සාකච්ඡා කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment