ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්‍ෂකයෙක් නෑ

123

ඉදිරි ජනාධිපතිවරණයට කිසිම හේතුවක් මත දෙමළ ජාතිකයකු පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොකරන බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා ප්‍රකාශ කළේය.

යාපනයේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

උතුරේ සහ නැඟෙනහිර විවිධ දෙමළ දේශපාලන පක්ෂ විසින් දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට විශාල හඬක් නගන බවත් ඒ වෙනුවෙන් විශාල ඉල්ලුමක් ද පවතින බව හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

බොහෝ දෙමළ දේශපාලන පක්ෂ දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා ගැන නම් හා විස්තර ද පක්ෂය වෙත ඉදිරිපත් කොට ඇති බව කී සිවඥාණම් හිටපු සභාපතිවරයා ඇතැමුන් ඒ සම්බන්ධයෙන් දෙමළ මාධ්‍ය වෙත අදහස් ද ප්‍රකාශ කොට ඇති බව කියා සිටියේය.

ඒ කවර ඉල්ලීමක් ඉදිරිපත් වුවද මීළඟ ජනාධිපතිවරණය සඳහා කිසිම දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ අතර ප්‍රධානතම පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය තීරණය කොට නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ කවර පුද්ගලයකුටදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ නාමයෝජනා ලබා දීමෙන් පසුව ප්‍රධාන අපේක්ෂකයින් සියලු දෙනා සමග සාකච්ඡා කොට දෙමළ ජනතාවට යම් විසඳුමක් ලබා දීමට උත්සහ කර කටයුතු කරන අපේක්ෂකයාට දෙමළ පක්ෂවල පූර්ණ සහයෝගය ලබා දීමට දැනට තීරණය කර ඇති බවයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment