ආණ්ඩුකාර පත්වීම් සහ බාලගිරි දෝෂයට හසු වූ කැබිනට් සංශෝධනය!

257

තුන් අවුරුදු නියංසායකින් මෙන් පීඩාවට පත් වු සිංහල බෞද්ධයන්ට පමණක් නොව වෙනත් ජන කොටස්වලට ද පොදුවේ කිසියම් සහනයක් රැගෙන පැමිණි වෙසක් සමය අවසන් වී තිබේ. ගමින් ගම දොරින් දොර හැම තැනකම පාහේ ‘එව, කව, බොව, යන මිහිරි තෙපුල් ඇසුණි. නගරවල වෙසක් සිරි නැරඹීම සඳහා දහස් ගණනින් දනන් එක්රොක්ව සිටි බව ද ජන මාධ්‍ය වාර්තා කර තිබුණි. හිස ගිනිගත් අයට මෙන්ම කුස හිස් වූ අයට ද යම් අස්වැසිල්ලක් ලැබුණු බව පෙනුණි. වෙසක් නිමිත්තෙන් බුදුන් උපන් දේශයේම, එහෙත් බොදුනුවකු නොවන නරේන්‍ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණේ බුදුන්ගේ පරමාදර්ශය සැමට ආලෝකයක් බව ය. ජගත් මහා සමුළුවක් අමතමින් මෝදි අගමැති පවසා තිබුණේ සියලු අර්බුදවලට විසඳුම් බුදුදහම තුළ තිබෙන බවය. හයවැනි සියවස තරම් දීර්ඝ අතීතයක ලොවට සත්‍යය, විද්‍යාව, ප්‍රඥා ලෝකය මෙන්ම චින්තනයේ නිදහස, මානව බන්ධුත්වයෙහි සමානතාව අතැඹුලක් සේ පහදා දුන් බුදුමඟ නූතන සමාජ ආර්ථික දේශපාලනයට ද අනන්‍ය වීම කෙබඳු විස්මයක්ද? එහෙත් ඒ බුදු මඟෙහි මහා පින්බිම ලෙස කියැවෙන, හැඳින්වෙන අපේ සංස්කෘතික දුප්පත්කම කොතරම් ද?

කෙසේ වුවද, එය වෙනම දීර්ඝව සාකච්ඡා කළ යුත්තකි. එහෙත් බුදුන්ගේ දේශය ලෙස විරුදාවලි ලත් ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කඩාවැටීම එහි ප්‍රපාතය කරා රට ගෙනයෑම සම්බන්ධයෙන් නම් නියත වශයෙන් ම වගකිව යුත්තෝ නිදහසින් පසු මෙරටේ පාලනය භාර වූවෝම වෙති. වෙසක් සමයෙහි විවේකයෙන් සිටියදීවත් ඔවුන්ගෙන් කී දෙනෙක් මේ රට ගැන හෝ තමන් නිසා වින්දිතයන් බවට පත්ව සිටින ජනතාව ගැන හෝ මෙනෙහි කළාහුදැයි නොදනිමු. අවම වශයෙන් දැන් ඉතින්වත් මේ රටට යහපතක්, සේවයක් කළ යුතුය යන සිතිවිල්ල හෝ ඒ කී දෙනෙක් තුළ ඇති වූයේ ද යන්නන් අපට අනුමාන ලෙස හෝ සිතා ගැනීමට නොහැකිය. එහෙත් අපට දැනෙන හැඟෙන එක් දෙයක් ඇත. එනම් හෙට දවස පිළිබඳ සුපැහැදිලි ගමනක් නැති බවත්, අවුල් ලිහී යෑමට වඩා අලුත් අවුල් සිදුවීමටත් තුඩු දෙන ඒ ජරපත් ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලන කැළඹීම් යළි යළිත් සිදුවන බව ය.

ගෝඨාභයගේ පලායෑමෙන් පසු අස්ථාවර වූ රට යළි නීතියේ පාලනයට නතුකර ගැනීමත්, ගාලු මුවදොර විරෝධතාවේ තටු සිඳලීමත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් සාර්ථකව සිදු කළේය. අරගලය මර්දනය සම්බන්ධයෙන් තිබෙන විවේචන මෙන්ම ආර්ථිකයට අලුත් හුස්මක් ලබා දීමේ ක්‍රියාවලියෙහි විපාක කෙබඳු වුවද රාජපක්‍ෂ කඳවුරේ සහාය ද ලබාගත් ජනාධිපති රනිල් ගැන වැඩි පිරිසක් විශ්වාසය තැබූ බව ද නිසැකය. චාල්ස්ගේ රාජාභිෂේකයට රනිල් සහභාගි වූයේ ද රට ස්ථාවර කළ නායකයකු ලෙස ය. මහජන මතයෙන් පාර්ලිමේන්තුවෙන් ද ඉවතට විසි වී ගිය පක්‍ෂයක නායකයා වූ රනිල් ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධුරයට පත්ව සිය ආර්ථික සැලසුම් තමන් හා කිසිදු ප්‍රතිපත්තිමය එකඟතාවක් නොමැති පොදු ජන පෙරමුණේ බහුතරය ලවා අනුමත කරවා ගැනීමට ද ඔහු සමත්ව සිටියි. ස.ජ.බ.යට, ජා.ජ.බයට හෝ පොහොට්ටුවෙන් කැඩී ගිය කණ්ඩායම් දෙකට හෝ ඔහුගේ සැලසුම් – යෝජනාවලට අභියෝගයක් එල්ල කිරීමට ද නොහැකි විය. ස.ජ.බ.යට අලුතින් එක් වූ ෆවුසි මන්ත්‍රීවරයා පවා තෝරා ගත්තේ ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙළය.

ඇත්ත වශයෙන්ම මේ වන විට ලංකාවේ දේශපාලනයේ මෙහෙයුම්කරු බවට පත්ව සිටින්නේ ජනාධිපති රනිල් ය. මහජන ප්‍රසාදය දිනා ගනිමින් සිටින ජා.ජ.බ අනුර කුමාරට හෝ ස.ජ.බ. සජිත්ට හෝ ඒ දේශපාලනය වෙනස් කිරීමටත්, මහජන මතය කුමක් ද යන්න පැවසීමටත් ජනාධිපති රනිල් කිසිදු අවස්ථාවක් ද ලබා දී නොමැත. පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණ ගැන අද කිසිදු ජනමතයක් හෝ ගොඩනැඟී නැතිවීම යහපත් දෙයක් නොවුවද, ඒවා ජනාධිපති රනිල්ගේ කූට දේශපාලන බුද්ධියේ ප්‍රතිඵල බව නිසැකය. එහෙත් රනිල් – මහින්ද දේශපාලනයට එරෙහිව රොක් වූ මැයි රැලිවලින් පොහොට්ටුව තුළ තිගැස්මක් වූ බව ද පෙනුණි. එහි ප්‍රබල කථිකයන්ගෙන් ප්‍රකාශ වූයේ කිසිසේත්ම අනුර කුමාරලාට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ නොදෙන බවය. මෙය පුහු තර්කයක් වුවද ඔවුන් තවමත් මැර දේශපාලනය ගැන බලාපොරොත්තු අතැහැර නැති බවක් ද ගම්‍ය වේ.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ඈඳුණු, පැහැදිලි දේශපාලන පරිවර්තනයක් නැති වුවද මහජන වරමක් තමන්ට වුවමනා බව ජනාධිපති රනිල් වටහා ගෙන සිටියි. එහෙත් දේශපාලන කෞටිල්‍යයකු වූ ජේ. ආර්. ජයවර්ධනගෙන් ලබාගත් පාඩම් බොහොමයක් අද දේශපාලන බිමට අදාළ නැති බව ද ජනාධිපති රනිල් දනී. ජයවර්ධන එදා තම ප්‍රතිවාදිනිය වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමිකර පසෙක තැබූ ආකාරයට, තම දේශපාලන පසමිතුරා හෝ කීපදෙනා ඉවත් කිරීමට ජනාධිපති රනිල්ට ක්‍රමයක් ද නැත. මහින්ද ඔහුගේ පස මිතුරකු නොවන බව ද ඔහු දනී. එසේම රාජපක්‍ෂ කඳවුරෙන් ජනාධිපතිවරණය සඳහා සුදුසු චරිතයක් – ආකර්ෂණීය අයෙක් ද නොවෙති.

මේ අනුව ආණ්ඩුවට අලුත් ජනවරමක් සඳහා සුදුස්සා ජනාධිපති රනිල් බව ඔවුහු ද දනිති. පාර්ලිමේන්තුව විසුරුවා ප්‍රමාණවත් මහජන නියෝජිත සංඛ්‍යාවක් ආණ්ඩුවට ලබාගැනීම අභියෝගයක් බව ද ඔව්හු දනිති. එහෙත් ජනාධිපති රනිල් ඒ සඳහා සැරසෙන බවක් ද පෙනේ. රජයේ සේවක වැටුප් වැඩි කෙරෙන බවට ඉඟියක් ද ලැබී තිබෙන අතර කුමන හෝ සහන ලබා දී පොදු ජනයා දිනා ගැනීම ආණ්ඩුවේ උපාය විය හැකිය. මේ වන විට දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබෙන අලුත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනකු පත්කිරීමේ පුවත නිසැකයෙන් ම ජනාධිපති බලය තහවුරු කර ගැනීමේ පියවරකි. මේ සඳහා තම පක්‍ෂයේ තමාට සමීප අය තෝරා ගැනීමට ද ජනාධිපති රනිල් සැලකිලිමත් වනු ඇත.

ජනාධිපතිවරයාට වුවමනා දේශපාලන බලය හා සහාය ලබා ගැනීමට විනා මෙම ආණ්ඩුකාරවරුන්ගේ වෙනසින් අත්වන වෙනත් ප්‍රයෝජනයක් ද නැත. මෙසේ පත්වීම් ලබන අයගේ කාර්ය ශූරත්වය දේශපාලන විචක්‍ෂණභාවය කෙබඳු විය හැකිද? ඇතැම් ආණ්ඩුකාරවරුන් විසින් මේ රටට විශේෂයෙන් රටේ ආර්ථිකයට සිදුකළ විනාශය දැක්වෙන විගණන වාර්තාවක් ද මාධ්‍යවල පළවිය. පළාත් සභා අරමුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා ගණනාවක් එහි දැක්වුවත් ඒවාට ගන්නා පියවරක් නැති බව ද පැහැදිලිය. කුමක් වුවත් මේ ආණ්ඩුකාර පත්වීම් ගැන පොහොට්ටුව මෙන්ම සිවිල් සංවිධාන ද එතරම් ප්‍රසාදයක් නැති බව පෙනුණි. නැගෙනහිර ආණ්ඩුකාරවරිය ඉවත් නොකළ යුතු බව ද සංවිධානයක් පවසා තිබුණි. එසේම පොහොට්ටුවේ ලේකම් මාධ්‍යයට පැවසුවේ ජනාධිපති රනිල්ට පවරා තිබෙන්නේ ගෝඨාභයගේ නිල කාලයේ ඉතිරි කොටස ආවරණය කිරීමට බවය. ඔහු කළ තවත් අවධාරණයක් වූයේ වර්තමාන කැබිනට්ටුව පොදුජන පෙරමුණේ එකක් ලෙස හැඳින්විය නොහැකි බව ය.

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයකු ඉවත් වු විට අලුතින් ආණ්ඩුකාරවරුන් පත්කර ගැනීමේ සම්ප්‍රදායක් තිබේද?. එසේ නම් ගෝඨාභය විසින් පත් කරන ලද රාජ්‍ය ආයතනවල පත්වීම් වෙනස් විය යුතු නොවේද?. ඇත්ත කතා කරන්නේ නම් මේ අලුත් පත්වීම් කරන්නේ ජනාධිපතිට වුවමනා විශ්වාසදායක අයට ඒ දිස්ත්‍රික්කවල බලය ලබා දීමටය. මේවා පිළිබඳ තවත් විවේචන ද සිදුවිය හැකිය. එජාපයේම නවීන් දිසානායක කීවේත් මෙම තනතුරු අදූෂිත අයට දියයුතු බවකි. ජනාධිපතිවරණයක් කැඳවීම ගැන ද සංවාදයක් ගොඩනැඟී ඇත. අවශ්‍ය නම් ව්‍යවස්ථා සංශෝධනයකින් ද ඒ සඳහා ඉඩ ලබා ගත හැකිය. එහෙත් විපක්‍ෂයේ සහාය නොලැබුණහොත් එයට ඉඩක් ද නැත. කෙසේ නමුත් අද පවතින මහජන නියෝජිත ක්‍රමය තුළ තිබෙන විකෘතීන් යථා තත්ත්වයකට පත්කර ගත හැක්කේ ජනාධිපතිවරණයකින් හෝ මහා මැතිවරණයකින් පමණි. පළාත් සභා මෙන්ම පළාත් පාලන මැතිවරණ ගැන තිබෙන ඇල්මැරුණු උනන්දුව රහසක් නොවේ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී සිතියම මේ වන විට එහෙම පිටින්ම පැත්තකට දමා තිබෙන බව ද රටම දනී. ඒවායේ සියලු විවේචන මෙන්ම ප්‍රතිවිපාක සියල්ල ආණ්ඩුවට තිබෙන අවාසිදායක තත්ත්වයකි. ස.ජ.බ හා ජා.ජ.බ හා අනෙක් විපක්‍ෂ කණ්ඩායම් නිසැකයෙන්ම ආණ්ඩුවටත් රාජපක්‍ෂ කඳවුරටත් තර්ජනයකි. අද පවතින දේශපාලනය එයයි.

මෙම දේශපාලන අභියෝගවලට මුහුණ දීමට රාජපක්‍ෂ කඳවුර සමඟ රනිල්ට සන්ධානගත වීමට බල කරයි. එය දෙපාර්ශ්වයේම ආරක්‍ෂාවට හේතු වේ. සිංහයා නිසා වනයත්, වනය නිසා සිංහයාත් රැකෙන බවට පිරුළක් ඇත. ඒ අනුව රාජපක්‍ෂලා නිසා රනිලුත්, රනිල් නිසා රාජපක්‍ෂලාත් රැකෙන බව තේරුම් ගැනීමට අමුතු විග්‍රහ වුවමනා වන්නේ ද නැත.

ආණ්ඩුකාර පත්වීම් සහ බාලගිරි දෝෂයට හසු වූ කැබිනට් සංශෝධනය!

මේ අතර සිංහල අලුත් අවුරුද්දෙන් පසු සිදුවන බවට වාර්තා වුණු කැබිනට් සංශෝධනය අවිනිශ්චිත එකක් බව පොහොට්ටුවේ දේශපාලන අංකූරයන්ට හොඳින් වැටෙහේ. එහෙත් පවතින දේශපාලන සන්දර්භය අමතක කර නිලබල ලබා ගැනීමේ දොළදුකක් ඔවුන්ට තිබේ. පොහොට්ටු ලේකම් මේ කැබිනට් මණ්ඩලය තම පක්‍ෂයේ එකක් ලෙස පිළිනොගන්නා බව ඉහත ද සඳහන් විය. කුමක් වුවත් ආණ්ඩුකාර පත්වීම් මෙන්ම කැබිනට් සංශෝධනය ද ජනාධිපති රනිල්ට කොටි වලිගයක් වනු ඇත. ඔහු මේ උභතෝකෝටිකය කෙසේ ලිහාගනු ඇද්ද යන්න හෙට දවසට අයත් වූවකි.

ඇත්ත වශයෙන්ම මේ වන විටත් ආණ්ඩුවට අයත් ඇතැම් දේශපාලනඥයන්ට ද ඇඟිලි දික්වන ප්‍රශ්න කීපයක් ම ඇත. විශේෂයෙන් ම කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හල වසාදමා ඕමාන ජාතික ආයෝජකයා ලංකාව අතහැර යෑම සුළුපටු සිදුවීමක් නොවේ. ආණ්ඩුවේ කිසිවෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ඇමැතිවරයකු බව කියන ඒ ගැන වචනයක් නොපවසති. තමන්ගේ පක්‍ෂයේ ඔවුන් කරන ඕනෑම අශීලාචාර වැඩක් අනුමත කරන වර්ගයේ ප්‍රතිපත්තියක් නිසා මේ ආණ්ඩුවට සිදුවන හානිය බරපතළ බව පමණක් සඳහන් කළ යුතුය. මෙම සිද්ධියට විපක්‍ෂයේ කිසිවෙක් හෝ යාන්තමින්වත් ගෑවී සිටියා නම් පොහොට්ටුවේ කටකාරයන් උඩපනින ආකාරය ද කව්රුත් දනිති. ඇත්තටම මේ රාජ්‍ය ඇමැතිවරයාට ආණ්ඩුවම බිය වී සිටීම පුදුම සහගතය. එහෙත් සමාජ මාධ්‍යයක ආණ්ඩුවේ කිසියම් ක්‍රියාවක් විවේචනයට ලක්වුවහොත් ලැබෙන ප්‍රතිචාර මීට ඉඳුරා වෙනස් ය. ගාලු පාරේ විරෝධතාකරුවන් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සම්බන්ධයෙන් පොලිසිය දක්වන ප්‍රතිචාර ද රහසක් නොවේ. නීතිය නැවීමට හපන්නු කවදත් පොලිසිවල සිටියහ. ඒ මොනවා වුවත් මේ වර්ගයේ කුජීත දේශපාලන චරිත නිසා ආණ්ඩුව පමණක් නොව සමස්ත දේශපාලනයම නරා වළක් බවට පත්ව තිබෙන ආකාරය ජනාධිපති රනිල් දනී. දූෂණ, භීෂණ, ඝාතන හා ජාවාරම් පසුපස බොහෝ විට දේශපාලන සෙවණැලි වැටී තිබෙන බව ද රහසක් නොවේ.

මේ වෙසක් සමයෙහි වාර්තා වූ කළුතර පාසල් සිසුවියකගේ මරණය හා ඒ සිදුවීම් තුළින් කියැවෙන්නේ ද රටේ තිබෙන සදාචාරාත්මක පරිහානියයි. එහිදී පාසල් සිසුවියක් ලෙස හැසුරුණු අනෙක් දැරියගේ ක්‍රියාකාරකම් සැබෑවක් නම් මේ රට පත්ව තිබෙන විපත සුළුපටු නොවන බව ද කිව යුතුමය. මේ සිදුවීමේ එක් චූදිතයකු කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු ලෙස ද මාධ්‍යවල පළවිය. එය සත්‍යයක් නම් රට ඇදී යන ප්‍රපාතය සිතා ගැනීම ද අසීරු නැත. රුපියල් ලක්‍ෂ පනහක රක්‍ෂණයක් සඳහා තම බිරිය මැරීමට තරම් මුග්ධ වසල සැමියකු ගැන ද වාර්තා විය.

මේ සියල්ල පෙළ ගස්වා බලන විට අපට බොහෝ විවේචන – තර්ක විතර්ක මතු කළ හැකිය. ඉහත දැක්වූ පරිදිම අද මේ සමාජයෙහි මනුෂ්‍යත්වයෙහි වටිනාකම බින්දුවට වැටී ඇත. දිනපතා වාර්තාවන අපරාධ, දූෂණ, සියල්ල කලක පටන් ගලා එන දුශ්චරිතවල මුග්ධ මෙහෙයුම් ය. නීතිය කඩා වැටීමට දේශපාලනය බලපාන අතරම සදාචාරය පිරිහීම ද හේතුවකි. පසුගිය දිනක විනිසුරුතුමෙක් ප්‍රකාශ කළේ පොලිසිය මුහුණු බලා කටයුතු කරන්නේ ද යන සැකයක් ඇති බවය. ආන්දෝලනාත්මක හැඳුනුම්පත් නඩුව ගැන තිබෙන විවේචන කෙතරම් ද? මන්ත්‍රීකම – රාජ්‍ය ඇමැතිකම – ඇමැතිකම හොරුන්ට මැරයන්ට දූෂිතයන්ට රැකවරණයක් වී තිබෙන බවට දැඩි චෝදනා පත්‍රයක් ද ඇත.

ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනතට දැක්වූ හදිසිය දූෂණ, අල්ලස් මර්දන පනතක් ගෙන ඒමට නැත. කිසිම ආණ්ඩුවක් විසින් අල්ලන ලද දූෂිත මන්ත්‍රීවරයෙක් ගැනවත් වාර්තා වී නැත. කෝප් හා කෝපා කමිටුවලදී හෙළි වූ දූෂණ සිදුවීම් පෙළගැස්වුවත් සමනල කන්දට වඩා උස ය. රාජ්‍ය ආයතනවල මුල් පුටු අරා සිටි ඇතැම් අය විසින් රටට අහිමි කරන ලද ධනස්කන්දත් සුළුපටු නැත. දේශපාලන නිර්දේශ අනුව පත්වූ බොහෝ අය ඒ විනාශය සිදුකරද්දී ඇමැති හෝ ජනාධිපති ගත් කිසිදු පියවරක් නැත.

ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයෙහි එන සඳහනක් අනුව ඔහු ද මෙරටේ දූෂිතයන්ට එරෙහිව ක්‍රියා කිරීමට අසමත් වී ඇත. මේ ඒ ගැන තිබෙන විග්‍රහයයි.

“තම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිබඳව දූෂණ චෝදනා සාධක සහිතව තමා වෙත ඉදිරිපත් කෙරුණු විට සුදුසු ක්‍රියාමාර්ග නොගෙන සානුකම්පිකව නොසළකා හැරීමය. තවත් දෙයක් නම් දේශපාලන ප්‍රචණ්ඩත්වය කෙරේ ඔහු දැක්වූ දෙබඩි පිළිවෙතය.

  • ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය – සිව්වැනි වෙළුම

ඇත්ත වශයෙන් ම එදා ජේ ආර්. ඒ සියල්ල ඉවසා සිටියේ අහිංසාව ගැන කතා කරමින් සහ ගාන්ධි හා අසෝක රජු අගය කළ අයෙකු ලෙස පෙනී සිටිමින් බව ද සිහිපත් කළ යුතුය. අදත් ඒ සියල්ල ඊටත් වඩා රළු පරළු ආකාරයට සිදුවන අයුරු ද රහසක් නොවේ. ජනාධිපති රනිල් තෝරාගෙන ඇත්තේ ද සිය දේශපාලන ගුරුවරයා වූ ජයවර්ධනගේ ක්‍රමය විය හැකිය. එහෙත් පරිණත දේශපාලනඥයකු ලෙස ජනාධිපති රනිල් කළ යුත්තේ සිය උපරිම බලය දූෂිත දේශපාලනඥයන් ඉවත් කිරීමටත් රටත් ජනතාවත් අපේක්‍ෂා කරන අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ක්‍රියා කිරීමත් උදෙසා කැපවීමය. ස.ජ.බ. හා ජා.ජ.බ දුබල කිරීමට මෙන්ම ගාලු මුවදොර අරගලකරුවන්ට දඬුවම් කිරීමෙන් හෝ මේ පවතින දේශපාලනය ඉදිරියට ගෙන යා හැකි යැයි සිතන්නේ නම් එයද මුළාවක් පමණි. එසේම එජාපයේ සුන්බුන් හා රාජපක්‍ෂ කඳවුරේ වහලුන් හා පොලිසිය, හමුදාව සමඟ යන දේශපාලනයක් ගැන සිතීම ද ඊටත් වඩා මුළාවක් බව ද සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment