ඩොලර් විසි දහසක් සහ රුපියල් කෝටියක් ඩුබායි පන්නන්න ගිය ව්‍යාපාරිකයා කටුනායකදී මාට්ටු

335

ඇමරිකානු ඩොලර් සහ ශී‍්‍ර ලංකා මුදල් නීති විරෝධීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ගුවන් මගියකු කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (23වැනිදා) අලූයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ රුපියල් එක්කෝටි හතළිස් ලක්‍ෂ හැටදහසක් පමණ වටිනා ඇමරිකානු ඩොලර් 20,000ක් හා ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 10ක් රේගු නිලධාරීන් විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙම පුද්ගලයාගේ ගමන් මල්ලේ ඉතා සූක්‍ෂම ලෙස මෙම මුදල් සඟවා තිබූ බවද සුදත්ත සිල්වා මහතා කියා සිටියේය. මොහු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඊයේ අලූයම 02.55 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව යෑමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ගුවන් ගතවීමට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ අත්බෑගය තුළ ශ‍්‍රී ලංකා රුපියල් කෝටියක සහ ඇමෙරිකානු ඩොලර් විසි දහසක මුදලක් ස`ගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් සහ රේගු පාලන අංශයේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි. සහකාර රේගු අධිකාරීවරුන් වන රකිත ආරියරත්න, දිල්ෂාන් වැලිගම්පිටිය, සනූ ජයසූරිය සහ බ‍්‍රයන් ආන්ට් යන නිලධාරීන් මේ සඳහා සහභාගි වී ඇත.

කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

ප‍්‍රභාත් විතාන සහ කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment