ණය ගත්තට වඩා ගෙවපු එක වැරදි බව පෙන්වන්න හදනවා – මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ  

615

විදේශ ණය ගෙවීමේ අභියෝගය, සංචාරක ව්‍යාපාරය සහ අවිධිමත් ක‍්‍රමයට මෙරටට මුදල් එවීම ඇතුළු කාලීන ආර්ථික කරුණු කාරණා ගණනාවක් ගැන අපි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ අප ඇසූ ප‍්‍රශ්නවලට මුදල් ඇමැතිවරයා ලබා දුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය – 2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.3 ක් පමණ ලැබුණා. ඊට පසු පාස්කු ප‍්‍රහාරය සහ කොරෝනා වසංගතය සමග සංචාරක ආදායම් අඩු වෙලා දැන් මේ වසරේ (2022) බලාපොරොත්තු වෙන්නේ ඩොලර් බිලියන 1.5 ක පමණ ආදායමක් ලැබෙයි කියල. ඒත් 2018 ට සාපේක්ෂව බිලියන 3 ක පමණ අඩුවක් තියෙනවා. දැන් එන සංචාරකයන් පවා ඩොලර් පිටින් මාරු කරන බවත් කියනවා?

පිළිතුර – එහෙම එකක් නෑ. මම සංචාරක ඇමැතිතුමාත් එක්කත් කතා කළා. ඒ අනුව කරුණු දෙකක් අපට පේනවා. දැන් එන සංචාරකයන් දීර්ඝ කාලීනව ඉන්නවා. වෙනදට ? එකයි දෙකයි හිටියේ. දැන් ඉන්නවා සුමානයක් දෙකක්. මෙරට ගත කරන රාත‍්‍රී ගණන වැඩියි. ඒ කියන්නේ ආපු සංචාරකයෝ සංඛ්‍යාත්මකව මේ රටේ නතර වෙලා ඉන්න දින ගණන ඉහළ මට්ටමක තියෙනවා.

දෙවැනි එක ඔවුන් වෙනදා සංචාරකයන්ට වඩා වියදම් කරනවා. ඒක නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමේ මට්ටම තාම මනින්න බැහැ. ඒ නිසා පැමිණෙන ගණන අඩු වුණාට වැඩි ආදායමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පළවෙනි තත්ත්වෙට එනම් ඉහළ මට්ටමකට යන්න නම් දිනකට සංචාරකයන් 6500 ක් විතර එන්න ඕන. දැනට 2500 ත්

3000 ත් අතර එන්නේ. නමුත් ඒක දැනෙන්නේ නෑ සංචාරක පැමිණීම බිම අඩියටම වැටිලා ඉඳල අපි උඩට එන නිසා සහ වැඩි කාලයක් ඔවුන් මෙහේ ඉන්න නිසා. මේ එන හැම සංචාරකයෙක්ම ආපු ගමන් යන්නේ නැහැ. මොකද බොහොම අමාරුවෙන් එන්නේ. හුඟ කාලෙකට පස්සේ එන්නේ. ඔවුන්ට නිවාඩු තියෙනවා. ඔවුන් දීර්ඝ කාලයක් ඉන්නවා. ඒ නිසා දැනට එන සංචාරකයන් ගණන අර එදා පැමිණි සංචාරකයන්ගෙන් අඩක් වුණත් ඒ ආදායම් ප‍්‍රමාණය ලැබෙනවා. ඒ වගේම විදේශ රැුකියාවලට යවන ප‍්‍රමාණයත් අපි වැඩි කරගන්න ගමන්ම කුසලතා සහිත ශ‍්‍රමය යැවීම, ඒවගේම

අලූත් මාකට්වලට, ඉහළ වැටුප් තලවලට යැවීම වගේ දේ සැලසුම් කරනවා.

ඒවගේම ඉස්සර අමුද්‍රව්‍ය ලෙස යවපු රබර් වගේ ඒවා දැන් ටයර් වෙලා යනවා. සර්ජිකල් ග්ලවුස් වෙලා යනවා. ඒවගේම අගය එකතු වෙලා යනවා. ඔය වගේ ඒවා අපි කරනවා. ඒ නිසා අපනයන පැත්තෙන් අපි ආදායම වැඩි කරගෙන තියෙනවා. බොහෝ අය කිව්වේ අපනයන අඩු වෙයි. තේ අඩු වෙයි කියල. රබර් අපනයන අඩු වෙයි කියල. ඒ වුණාට අපනයන ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වුණානේ. 2021 ජුනි සිට දිගටම මාසික අපනයන ආදායම බිලියනයට වඩා වැඩියි

ප‍්‍රශ්නය – සංචාරකයෝ ගැන කතා කළා. පසුගිය 21 වැනිදා මහ බැංකුව ගැසට් එකක් ගහනවා සංචාරක ආයතන, හෝටල් එහෙම සංචාරකයන්ගෙන් විදේශ විනිමයෙන් පමණක් අනිවාර්යයෙන් අය කර ගැනීම් කරන්න ඕන කියල? අප දන්නවා ඕනෑම රටක ඕනෑම මුදල් ගනුදෙනුවක් පියවගන්න ඒ රටේ මුදල් නෝට්ටු වලංගුයි. ඔබතුමා හිතන්නේ මේ පියවර හරිද?

පිළිතුර – දැන් මෙතැනදී හුඟක් වෙලාවට හරිද වැරදිද කියන එකට වඩා රටට හොඳද නරක ද කියලනේ බලන්නේ.

ප‍්‍රශ්නය – විදේශිකයන් බැංකුවකින් විදේශ මුදල් මාරු කරගත්තොත් රිසිට් එක තියෙනවා. ඒ රිසිට් එක බලල රුපියල්වලින් ගෙවීම් කරන්න පුළුවන්. හැබැයි විදේශිකයා බ්ලැක් මාකට් එකෙන් මාරු කරගත්තොත් මේ තීරණය අනුව එම මුදල් හෝටල්වලට භාර ගන්න බෑ විදේශ විනිමයෙන්ම භාර ගන්න ඕන. පිටින් මුදල් මාරු කළොත් රිසිට් එකක් නැහැ?

පිළිතුර – ඉතිං රිසිට් එක කවුද චෙක් කරන්නේ. මම ඇමැතිතුමාගෙන් ඇහුව කොහොමද ඒක චෙක් කරන්නේ කියල.

ප‍්‍රශ්නය – මහ බැංකුව ගැසට් එක ගහලා නිවේදනයත් එව්වා?

පිළිතුර – ඔව් ඔව්. ඉතිං ඒක චෙක් කරන්නේ කොහොමද? දැන් ඔයා මාරු කරගත්තොත් ඩොලර් 1000 ක් ඒ රිසිට් එක අරගෙන ඔයාට අර හෝටලයටත් පෙන්වන්නත් පුළුවන්, මේ හෝටලයට පෙන්වන්නත් පුළුවන්.

ප‍්‍රශ්නය – ඒක තමයි ඇමැතිතුමා අපිත් අහන්නේ?

පිළිතුර – සාමාන්‍යයෙන් ඔය නීතියක් දාන්න දාන්න නීතිය කඩන ප‍්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒක අපි බලමු කරලා. ඕක කාලයක් තිස්සේ සමහර හෝටල්වලිනුත් ඉල්ලපු එකක්. බලමු කොයි එකද හොඳ කියල.

ප‍්‍රශ්නය – ඇමැතිතුමා හවාලා සහ උන්ඩියල් ක‍්‍රමවලදී විදේශ රටේ ඉන්න නියෝජිතයාට විදේශ විනිමය දීල මෙහේ ඉන්න අයට රුපියල් දෙනවා. එතකොට රටට විදේශ විනිමය එන්නේ නෑ නේද?. අපට ඩොලර් බිලියන 6.8 ක් විදේශ ණය ගෙවන්න තියෙනවා. එතකොට මේ ක‍්‍රම නිසා විදේශ විනිමය නිල මාරගවලින් එන එක අඩු වෙනවා නේද?

පිළිතුර – උන්ඩියල් බොහොම සුළු මාකට් එකක් යන්නේ. මොක ද උන්ඩියල් එකේ මෙහෙට ගේන සල්ලි ගන්න මිනිහෙක් ඉන්න එපාය. කව්ද ගන්නේ? ගන්නේ කව්රු හරි ඉගෙන ගන්න ළමයි ඉන්නවා නම් ඒකට ගන්නවා. ඒක දැන් හිර වෙලා. ඊළඟට අපි රට යනවා නම් ගන්නවා. ගන්නේ විශ්වාසවන්ත මිනිහෙක්ගෙන්.

ඒක සාමාන්‍යයෙන් මහා ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඊළඟට එයාට ඒක ගේන්න එයා එහේ සල්ලි එකතු කරන්නත් ඕනනේ. ඒ කියන්නේ ඩොලර් 500 ක් ඔයා ගාව තියෙනවා. අරය ළඟ තියෙනවා. ගෙවල්වල ඉන්නේ. ඕවා බැංකු වගේ සිස්ටම් එකකට නෑ. ඒවා දුන්නම එයාට විශ්වාස නෑ. හරියටම විශ්වාසවන්ත එක්කෙනෙකුට තමයි දෙන්නේ. දැන් මෙහෙන් ඩොලර් එකක් ගන්නවා නම් ඒක හොර ඩොලර් එකක් නොවෙන්න ඕනනේ. බැරි වෙලාවත් හොර ඩොලර් එකක් අරන් ගියා නම් එයා හිරේනේ. ඒ නිසා බොහොම විශ්වාසවන්ත මිනිස්සුන්ගෙන් තමයි එහෙම ගන්නේ. බොහොම පොඩි ප‍්‍රමාණයක් තමයි එහෙම යන්නේ.

බැලූ බැල්මට පේන්නේ මෙහෙ එන විදේශිකයෝ බිල් ගෙවන්නේ නෑ රුපියල්වලින් කියල. එහෙම එකක් නෑ. දැන් අපි මෙහෙන් රෝමෙට යනවා වන්දනාවේ. එතකොට අපි ට‍්‍රැවල් ආයතනයට ගිහින් රුපියල්වලින් ගෙවනවා. එයා ටිකට් එකයි වියදමයි, හෝටල් ගාස්තුයි ඔක්කොම රුපියල්වලින් ගන්නවා. ඒ වගේම එහේ ට‍්‍රැවල් ඒජන්ට් ගාවට ගිහින් මම සල්ලි දුන්නොත් මට මෙහේ ආවම වියදම් කරන්න ඕන නෑ. ඒ කට්ටිය ඒව බලාගන්නවා. ඒ නිසා කව්රුහරි කියනවනම් මෙයා එහේ සල්ලි ගෙවල. මෙහෙ සල්ලි අරන් ඇවිල්ල නෑ හෝටලේ නිකන් ඉන්නවා. ඔහොම තමයි කියන්නේ. ඒක සාමාන්‍ය මිනිහෙක්ට කියන්න පුළුවන්. හැබැයි මට කියන්න බෑ. මම දන්නවා මොකක්ද ඒ ගනුදෙනුව කියන එක.

ඒක නිසා ඕව නෙවෙයි ඇත්තටම වෙලා තියෙන්නේ මේ ගැප් එක (විනිමය පරතරය) ලොකුයි. ඒ වගේ ලොකු ඒවා ඔය වගේ පොඩි ඒවායින් වහන්න බෑ. මේක ඇමෙරිකානු ඩොලර් බිලියන 14 ක් විතර වෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 14,000 ක පරතරයක්. ඒ කියන්නේ ගණන් හදල බලන්න ඩොලර් බිලියන 6.9 ක ණය ගෙවන්න ඕන අපට මේ වසරේ. තෙල් ගේන්න ඕන. බෙහෙත් ගේන්න ඕන. අමුද්‍රව්‍ය ගේන්න ඕන. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න ඕන. පොහොර ගේන්න ඕන. ඔය ගේන ඔක්කොම බිල් ටික එකතු කරහම මේ ගැප් එක ලොකුයි. ඒක හන්ද මේ පොඩි ඒවායින්…. හරියට දැන් කෙනෙක් රු.10,000 ක්

හම්බ කළොත් රු. 15,000 ක් වියදම් වෙනව නම් රු.5000 ක ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ සියයට 50 ක්නේ. එතකොට ඒකෙන් ළමයාගේ සෙල්ලම් බඩුවෙන් අඩු කරලා, එහෙම නැත්නම් කෑම වේලෙන් අඩු කරලා කිරි නොදා ප්ලේන්ටිය බීලා එහෙම ඉතුරු කරන්න බෑ. එහෙම නම් තව රු.5000 ක් හම්බ කරන ක‍්‍රමයක් හොයාගන්න ඕන වගේම ඉතිරියත් අවශ්‍යයි.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන පරිදිම මේ පරතරය විශාල නිසා අලූතින් විදේශ විනිමය උපයගන්න ක‍්‍රම සොයා ගන්න ඕන?

පිළිතුර – ඔව්. අලූත් විදේශ විනිමය උපයගන්න
ක‍්‍රම තමයි සොයන්න ඕන. එහෙම නැතුව මේ පොඩි ක‍්‍රමවලින් මේ ප‍්‍රශ්නය විසඳන්න අමාරුයි. ඒ වගේම එක ක‍්‍රමයකින් විතරක් බැහැ. ක‍්‍රම ගණනාවක් අනුගමනය කර ගන්න ඕන. ඒක හන්ද මහ බැංකුව ඔය ක‍්‍රමයට පොඞ්ඩ පොඞ්ඩ ඉතුරු කරනවා. අපි ප‍්‍රතිපත්තියක් ලෙස සංචාරකයන් ගෙන්වා ගන්න කටයුතු කරනවා. ඉතිං ඔය වගේ… දැන් අපට විදුලිය කැපුවොත් එහෙම අපේ අපනයන අඩු වෙනවා. කර්මාන්ත ශාලා වැහෙනවා. ලොක් ඩවුන් එකෙන් කරේ අපි ජීවිත බේරා ගත්ත. හැබැයි ජීවනෝපාය නැති කරගත්ත. අපි මුලින්ම බලන්න ඕන මේ ලොක්ඩවුන් එක ආපසු නොඑන්න කටයුතු කරන්න. ඒකට තමයි ජනාධිපතිතුමා එන්නත්කරණය කරලා කටයුතු කරේ. ඒකට එකම විසඳුම එන්නත්කරණය කියල ලෝකෙම පිළි අරගෙන තියෙනවා. දැන් බූස්ටර් එකත් ගහගෙන යනවා. ඒ පැත්තෙන් ලොකු ආයෝජනයක් කරලා තියෙනවා.

ඊළඟට තියෙන්නේ අපි පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කරන්න. ඒ නිසා මේ අයවැයෙන් අපි නිෂ්පාදන ක්ෂේත‍්‍රවලට මුදල් වෙන් කරලා නව තාක්ෂණයත් භාවිතයෙන් ඒ නිෂ්පාදන ක‍්‍රියාවලිය වැඩි කරගන්න කටයුතු කරනවා. එසේම නවීන ලෝකයට අවශ්‍ය ඩිජිටල්කරණය තුළින් පුළුවන් තරම් මහජන සේවාවන් ඉෂ්ට කරන්න අපි බලන්නේ. ඒ අතර අර මම මුලින් කිව්වා වගේ මුදල් ඇමැතිවරයා වශයෙන් ප‍්‍රතිපත්තිමය වශයෙන් ආර්ථිකය පිළිබඳ පුළුල් චිත‍්‍රයට වැඩි කාලය ගත කරන අතර ඒ අදාළ ආයතන ප‍්‍රගතියක් අත්කර ගන්න ඕන. මහ බැංකුවත් තමන්ට පුළුවන් ආකාරයෙන් කටයුතු කරන්න ඕන. විදේශ රැුකියා ප‍්‍රවර්ධන පැත්තෙන්, සංචාරක ප‍්‍රවර්ධනය පැත්තෙන්, ආයෝජන පැත්තෙන් ඒ ඒ අමාත්‍යාංශ සහ ඊට අදාළ ආයතන තම වගකීම හරියට කළොත් ආර්ථිකයට දායකත්වය ලැබෙනවා. මේක කවුද කරන්නේ, ඒ ප‍්‍රමාණය කොපමණ ද කියල මම කියන්නේ නැහැ. නමුත් හැම කෙනාගේම දායකත්වය වැදගත්.

ප‍්‍රශ්නය – ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 ක් විදේශ ණය ගෙවන්න තියෙනවා මේ වසරේ (2022) දී. පසුගිය කාලෙදි විනිමය පේ‍්‍රෂණත් අඩු වෙලා තියෙනවා. ඉදිරි වසරවලත් දිගටම විශාල ණය ගෙවීමට තියෙනවා. මුදල් ඇමැති ලෙස සියලූම විදෙස් ණය කලට වෙලාවට ගෙවන බවට ඔබට සහතික වෙන්න පුළුවන් ද?

පිළිතුර – දැන් ගෙවන එකට වඩා අමාරුයි ගෙව්වේ ඇයි කියල පැහැදිලි කරන්න. දැන් සමහරු කියනව ගෙවන්න එපා කියල. දැන් මුලින් මුදල් ඇමැතිවරයා හැටියට මට අභියෝගය තිබුණේ ණය ගෙවන්නේ කොහොම ද කියල. සමහරු කිව්වේ ගෙවන්න බෑ කියල. දැන් ගෙවන්න හදනකොට කියනවා ගෙවන්න එපා ගෙව්ව එක වැරදියි කියල. අන්න ඒක තමයි දැන් ලොකුම අර්බුදය වෙලා තියෙන්නේ.

ප‍්‍රශ්නය – ණය නොගෙව්වොත් රට ණය පැහැර හැරිය රටක් වෙනවා නේ?

පිළිතුර – ඒ වුණාට කියන්නේ ගෙවන්න එපා කියලනේ. සමහර පොඩි කට්ටිය නෙවෙයි මහා විශාල ව්‍යාපාරිකයෝ, ආර්ථික විශේෂඥයෝ, නොයෙක් පක්ෂ නායකයෝ එහෙම කියනවා මේවා රාජපක්ෂලාගේ හෙන්චයියලට ගෙවන්නේ. මේක කළු සල්ලි සුදු කරන්න කරන එකක් කියල. ඒ නිසා ණය ගත්ත එකට වඩා දැන් ණය ගෙවපු එක තමයි වැරදි බව පෙන්වන්න හදන්නේ.

ප‍්‍රශ්නය – ඒ ගැන ඔබගේ අදහස කුමක් ද?

පිළිතුර -මම කියන්නේ ආර්ථික විශේෂඥයකු හැටියට නෙවෙයි. සාමාන්‍ය කෙනෙක් හැටියට. ණයක් ගත්තොත් ණය ගෙවන්න ඕන. ඒක පුරුදු කරන්න ඕන අපේ දරුවන්ටත් කාටත්. කාගෙන් හරි දෙයක් ඉල්ල ගත්තොත් ඒක ආපහු දෙන එක පුරුද්දක් කර ගන්න ඕන. ඒවගේ ණයක් ගත්තොත් ඒක ගෙවන එක අපේ පුරුද්දක් කරගන්න ඕන. අපිට පුංචි කාලේ ඉඳන් දෙමව්පියෝ අනිත් හැම කෙනෙක්ම කිව්වේ ණයක් ගත්තොත් ණය ගෙවන්න කියල. ඒ පදනමෙන් බැලූවත්, ආගමික නායකයෝ හිටන් කියල තියෙන්නේ කාටවත් ණය වෙන්න එපා කියල. ණය වෙන්නත් එපා ණය වුණොත් ගෙවන්න, ණයෙන් ඉක්මනට මිදෙන්න කියල.

සාකච්ඡා කළේ
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment