තමන්ට මුහුණ දෙන්න සිදුවන ප්‍රබල සිදුවීම් සමග ජීවිතය ගලපා ගැනීමට දැන් දරුවන්ට හැකියාවක් නෑ…

2570

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මාස අටක් වැනි කාලයක් තුළ සිසුන්ගේ සියදිවි හානිකර ගැනීම් හයක් වාර්තා වීම සහ ඉන් හතර දෙනකු ම ඉංජිනේරු පීඨයේ වීම සුවිශේෂී කාරණාවකි. සෙසු විශ්වවිද්‍යාලවල ද සිය දිවි හානිකර ගැනීමට තැත් කිරීම් වාර්තා වී තිබේ. එනමුත් කුමන හෝ කාරණාවක් මත එම සිසු සිසුවියන්ගේ ජීවිත රැකගැනීමට හැකිව තිබීම රටේ වාසනාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් අතරින් 75% ක්ම සිටින්නේ පිරිමි දරුවන්ය. ගැහැනු දරුවන් ඇත්තේ 25% කි. ඒ අතරින් මෙතෙක් සිය දිවි හානි කරගැනීමේ ප්‍රවණතාව තිබුණේ පිරිමි දරුවන් අතරය. ඇතැම්විට පීඩාකාරී තත්ත්වයන් සමනය කිරීම පිණිස ඇතිවන ආදර සම්බන්ධතා මත ඇතැම් ප්‍රශ්නවලට විසඳුම් සොයා යෑම පහසු විය හැකිය. සමස්ත ගැටලුව පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා සමඟ ‘දිවයින’ කළ සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – සමාජයේ පිළිගැනීම වන්නේ විශ්වවිද්‍යාලය යනු බුද්ධිමතුන් බිහි කරන තැනක් බවයි. එවන් ස්ථානයක දිගින් දිගටම සිය දිවි හානිකර ගැනීම් සිදුවීම බරපතළ ගැටලුවක් නේද?

පිළිතුර – විශ්ව විද්‍යාලයක් කියන්නෙ සෑම සමාජ ස්ථරයකම පැතිකඩක්. රටේ කොතැනක හෝ ගමක නගරයක ප්‍රදේශයක පදිංචිව සිටි ඕනෑම කුලයක ඕනෑම ජාතියක ඕනෑම ආගමක් අදහන පරිසරයක ජීවත් වූ දරුවෝ එකට එක්රැස් වන තැනක්. මේ දරුවන්ගේ පවුල් පසුබිම හොඳ ආර්ථික මට්ටමක, ධනවත් පවුලක, සාමාන්‍ය ආර්ථික මට්ටමක සාමාන්‍ය පවුලක, මෙන්ම අන්ත දුගීභාවය සහිත ආර්ථිකයක් ඇති පවුල් පරිසරවලින් පැමිණි දරුවෝ විය හැකියි. මේ සියල්ලෝම එකට එක් වූ තැන ඒ ඒ අයගේ අදහස් හුවමාරු වෙනවා ඒ ඒ අයගේ සබඳතා ගොඩ නැගෙනවා. මේ දරුවන්ට තමන්ගේ තත්ත්වය පිළිබඳ පැහැදිලි නිර්වචනයකට එන්න බැහැ. සරලවම කිව්වොත් තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන් පසුබිමක් ඒ අය ගොඩනගාගන්නේ නැහැ. මෙයට ප්‍රබලවම බලපාන්නේ තමන් ලැබූ අත්දැකීම්. දරුවෙකුට ජීවිතයේ යථාර්ථය හරිහැටි අවබෝධ කරගන්න නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා. සමහර ළමයි වුවමනාවට වඩා තමන් ගැන අවතක්සේරුවෙන් කල්පනා කරනවා. තවත් සමහරු වුවමනාවට වඩා අධිතක්සේරුවෙන් කල්පනා කරනවා. මේ අදහස් ප්‍රායෝගික කටයුතු සමඟ වගේම තමන්ට මුහුණ දෙන්න සිදුවන ප්‍රබල සිදුවීම් සමග ගලපා ගැනීමට දරුවන්ට හැකියාවක් නැති වෙනවා.

මෙන්න මේ අවස්ථාවේදී තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් හොයාගන්න බැරුව දරුවො අතරමං වෙනවා. බොහෝ වෙලාවට දරුවන් කරන්නේ එවැනි අවස්ථාවක ප්‍රශ්නෙන් පැනලා යන්නට උත්සාහ කිරීම. ඒ පැනයාම ජීවිතෙන් පැන යෑමක් දක්වාම දිග්ගස්ස වන්නට ඔවුන් වැඩි වෙලාවක් ගන්නේ නැහැ. මෙන්න මෙයයි අද සිද්ධවෙන්නේ.

ප්‍රශ්නය – සිය දිවි හානි කරගැනීම විශ්වවිද්‍යාල මට්ටමෙන් දිවයින පුරා සෑම විශ්වවිද්‍යාලයකම පාහේ දක්නට ලැබුණත් පසුගිය කාල වකවානුව තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ සියදිවි හානිකරගැනීම් එන්න එන්නම වැඩි අගයක් ගත්තා නේද?

පිළිතුර – ඉතිහාසයේත් බුද්ධිමතුන් උගතුන් කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල බහුතරයක් සියදිවි හානි කරගෙන තියනවා. ඒ වෙනකොට මේ අයට සිය දිවි හානි කර ගන්නට හේතු වන විවිධ කාරණා මුල් වෙලා තිබුණා. මට මතකයි 1995 වසර වනවිට ලෝකෙ දිවි නසා ගැනීම් වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටි අන්දම. ඒ වන විට ජනගහනය ලක්ෂයකට 45 දෙනකුට වැඩි පිරිසක් සියදිවි හානිකරගෙන තිබූ බවට වාර්තා සනාථ කළා. විද්‍යාලයේ දස දහසක් හිටියොත් විශ්වවිද්‍යාල දරුවෝ හතරක් හතරහමාරක් පමණ සංඛ්‍යාවක්. 2023 වන විට ජනගහනයෙන් ලක්ෂයක පිරිසකට පහළොස් දෙනෙක් පමණ දිවි නසාගන්නා බවට වාර්තා තිබෙනවා. මේවා හුදෙක් දත්ත ලෙස පමණක් ලඝු කොට තැකිය හැකි නැහැ. අනිත් ප්‍රධානතම කාරණාව තමයි සංඛ්‍යා දත්ත හුවා දක්වමින් මා මේ සූදානම් වන්නේ සිය දිවි හානිකර ගැනීම් සාධාරණීකරණය කිරීමට හෝ සාමාන්‍ය සිද්ධියක් බවට සනාථ කිරීමට නොවේ.

සියදිවි නසාගැනීම විශේෂයෙන්ම තරුණ කොටස් අතර ප්‍රබල ගැටලුවක්. මන්ද මේ තත්ත්වය විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් ආවේණික සිද්ධියක් ලෙස සලකා බැලීමට ද නොහැකි යි. බහුතරයක් තරුණ කොටස් ආවේග පාලනය කර ගැනීමට ඇති නොහැකියාව මත සහ විශේෂයෙන් ම තමා වෙත එල්ල වන පීඩාකාරී ගැටලු නිරාකරණය කර ගැනීමට නොහැකි වීම මත සිය දිවි හානිකර ගැනීමට යොමුවන බව පැහැදිලිව කිව හැකි යි.

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් ඔබගේ නිගමනය කුමක්ද…

පිළිතුර – රටේ බහුතරයක් දරුවො වැඩි වශයෙන් විෂයානුබද්ධ අධ්‍යාපනය සඳහා පමණක් යොමු වීම මීට බලපාන ප්‍රධාන කාරණයක් විය හැකියි. දෙමව්පියන්ගේ බලවත් බලපෑම් මත දරුවන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අනෙකා පරයා නැගිටීමට පමණයි. තමන්ගේ දරුවන්ගේ ලකුණු මට්ටම සෙසු දරුවන් හා සංසන්දනය කරමින් දෙමව්පියන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවා පමණක් ජයග්‍රාහී මාවතට යොමු කිරීමටයි. මෙහි අතුරු පල ලෙස දරුවන් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු නොකිරීමට දෙමව්පියන් මේ වන විට තීරණය කර තිබෙනවා. දරුවන්ගේ කාලය අපතේ නොයවා සෑම තත්පරයක්ම පාහේ විෂය කරුණු මතක තබා ගැනීමට හෝ විෂය කරුණු මත යැපීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගීමට දෙමව්පියන් බහුතරයක් ක්‍රියාකරනවා. මේ තත්ත්වය මත දරුවා දැඩි පීඩනයකින් ජීවත් වන බව දෙමව්පියන් තේරුම් ගන්නේ නැහැ.

සරලවම තේරුම් ගන්නවානම් ජලයෙන් පිරවූ වීදුරුවක් මතට තව තවත් ජලය වත් කිරීමෙන් අමතර ජලය වීදුරුවේ රැඳෙන්නේ නැහැ. මනස වුණත් එහෙමයි. මනස නිරතුරුව නිදහස්ව සැහැල්ලුවෙන් පවත්වාගෙන යෑම මත මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි වෙනවා, බුද්ධිය වර්ධනය වෙනව, ජය පරාජය සමව දරාගැනීමට හැකියාව ඇති වන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම් සමඟ නිතර ගැටුණ පරිසරයක් පැවතුණහොත් පමණයි. දරුවෙකුට කුඩා අවධියේ සිට තරුණ අවධිය තෙක් මුහුණ දීමට සිදු වන සිදුවීම් අත්දැකීම් ඔස්සේ තමන් පිළිබඳව තමන්ගේ ජීවිතය පිළිබඳව සමාජය පිළිබඳව දැක්මක් ඇති වෙනවා. අද දරුවන්ට මේ වගේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට නිදහස් පරිසරයක් ඇත්තේ නැහැ. මනස පීඩාකාරී ලෙස පවතින්නේ ඒ නිසයි.

කෙටියෙන්ම කියතොත් පාසල් අධ්‍යාපනයේ දී වුවමනාවටත් වඩා පසුපස සිටින දෙමව්පියන්ගෙන් මිදෙන දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී සෑම කටයුත්තක් සඳහාම තනිවම මුහුණ දීමට සිදුවීම ඔස්සේ ඔවුන් දැඩි පීඩනයකට ලක් වෙනවා. දරුවන්ට කුඩා කල සිටම තනියම ඔවුන්ගේ වැඩ කර ගැනීමට ඉඩ සැලැස්වීම තමයි වඩා උචිත.

ප්‍රශ්නය – පාසල් අධ්‍යාපනය තුළ දරුවන් විෂයානුබද්ධ අධ්‍යාපනය වෙතට පමණක් තල්ලු කිරීමක් දක්නට ලැබෙනවා. ඒ හරහා දරුවන් මානසික වශයෙන් පීඩනයකට පත්ව ඇති බව නොරහසක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමඟ නිවසින් බැහැරට යන දරුවන්ට ඇතිවන පීඩාකාරී තත්ත්වය මත මෙවැනි සිද්ධීන් ඇතිවෙනවා විය හැකිද.

පිළිතුර – බොහෝවිට එම පීඩාකාරී තත්ත්වය මෙවැනි සිද්ධීන්ට බලපානවා විය හැකියි. හොඳම උදාහරණය පසුගිය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් පිළිබඳ සමීක්ෂණයක් කර බලන්න. එම දරුවන්ගෙන් බහුතරය සංඛ්‍යාත්මකව ගත්තොත් 70% කට වැඩි පිරිසක් අමතර පන්ති පවා ගියේ දෙමව්පියන්ගේ රැකවරණය මත. නිවසට පැමිණෙන දරුවාට තනිව කන්නට වත් ඉඩ නොතබා එම කාලය හෝ අපතේ නොයවා දෙමවුපියන් සිදු කළේ කවා පොවා දරුවන් විෂය කරුණු මත රඳවා තැබීම. මෙවන් පසුබිමක ගොඩනැගෙන දරුවා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දී තනිව නැගී සිටීමට වෙර දැරීමම පීඩාවක්. එවන් දරුවන්ට කිසිදු අවස්ථාවක තනිව ගැටලුවක් විසඳා ගැනීමට හැකියාවක් නැහැ.

ප්‍රශ්නය – සිසුන් ඇතුළත් කර ගැනීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරනවා නේද?

පිළිතුර- පැහැදිලිවම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ සඳහා විශේෂ ක්‍රමවේද පාවිච්චි කරනවා. 2002 වසරේ මාර්තු මාසේ සිට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළා. මේ සඳහා මානසික විශේෂඥ වෛද්‍යවරුන් මනෝ වෛද්‍යවරුන් දරුවන් සමග සාකච්ඡා කරමින් ගැටලු අධීක්ෂණය කරමින් දරුවන් වර්ගීකරණය කර ගැනීමට පවා සැලසුම් කළා. ඒ සෑම කාර්යයක්ම සිදු කළේ දරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදියි. මේ වන තුරුත් පුළුල් දැක්මක් ඔස්සේ දරුවන්ගේ මානසික ආතතිය පාලනය සඳහා මනෝ උපදේශකවරු ඒ ඒ පීඨ ඔස්සේ යොදවා දරුවන්ගේ පීඩනය සමනය කරමින් අධ්‍යාපනය පවත්වාගෙන යෑමට කටයුතු කරනවා.

නිවෙස් තුළ සිටම මානසික රෝගීන් ලෙස පැමිණෙන දරුවන් සම්බන්ධයෙන් වෙනම සමීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ දරුවන්ගේ දෙමව්පියන් ගෙන්වා මේ පිළිබඳ වැඩිදුර කරුණු දන්වා සිටින අතරම ඔවුන් නිසි කලට වෙලාවට ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරනවා.

හඳුනා ගන්නා දරුවන් විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය හරහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත කැටුව ගොස් නිශ්චිත ක්‍රමවේදයන් යටතේ ප්‍රතිකාර ලබා දීමටත් එම ප්‍රතිකාර දිගින් දිගටම යාවත්කාලීන කිරීමටත් කටයුතු කරනවා. මෙවන් පසුබිමක් යටතේ තමයි දරුවන් සිය දිවි හානි කරගැනීමට තැත් කරන්නේ.

ප්‍රශ්නය – මානසික විශේෂඥ වෛද්‍යවරුන්ට යොමුකර ප්‍රතිකාර ගත් දරුවන් මානසික උපදේශනය සඳහා යොමු කිරීමට ප්‍රමාණවත් පහසුකම් විශ්වවිද්‍යාලය සතුව නැහැ නේද?

පිළිතුර – පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒ සඳහා අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා තිබෙනවා. ආචාර්යවරු පවා උපදේශනය සඳහා යොමුකොට තිබෙනවා. බොහොමයක් දරුවන් විභාග ආසන්නයේදී සහ විභාගය අතරමැදදී දරුණු මානසික පීඩාවකට ලක් වෙනවා. එබඳු දරුවන් පිළිබඳ අපි දැඩි විමසිල්ලකින් පසුවන්නේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයට දරුවන් 5 බැගින් බෙදා දී තිබෙනවා. සියල්ලම එම ආවරණය ප්‍රායෝගිකව සිදු කෙරෙනවා. විශ්වවිද්‍යාලය තුළ පවතින පීඨ නවයෙහි සේවය කරන ආචාර්ය මණ්ඩලය දහසකට ආසන්නයි. ඔවුන් පමණක් නොවෙයි අනධ්‍යන කාර්යමණ්ඩලයේ දෙදහස් හත්සියයක පිරිස වුවත් ඒ වගකීමෙන් මිදිලා නැහැ. ඔවුන් දරුවන්ට අවශ්‍ය ඕනෑම විටක කතා කරන්න දුක බෙදාගන්න ප්‍රශ්නයක් විමසන්න සැදී පැහැදී සිටිනවා. එවන් පසුබිමකයි මෙවන් සිදුවීම් සිදුවන්නේ.

බොහොමත් බුද්ධිමත් දරුවෝ තමන්ගේ මානසික ආතතිය දැඩිව දරාගෙන සිටිමින් නොහිතන මොහොතක ඒවා පිට කිරීමට තනිව ක්‍රියාමාර්ග ගන්නා අවස්ථා අපි අධ්‍යයනය කර තිබෙනවා. තවත් සමහර දරුවන් තමන්ගේ තත්ත්වය නොතකා අනුන් දෙස බලමින් තමන්ට නැති දෙයක් ආරූඪ කර ගනිමින් ප්‍රශ්නයක් තමා වෙත ළඟා කරගැනීමට උත්සාහ කරනවා. දරුවෝ විවිධයි විෂමයි. තරුණ දරුවෝ තවත් විවිධයි විෂමයි. බහුතරයක් දරුවෝ ගැන මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මෙපමණයි…

“මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා…,”

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment