තරගාවලිය මුලදී අපට පීඩනයක් එල්ල වුණා – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්

764

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පැමිණෙද්දී ශ්‍රී ලංකා පිලට තිබූ ඉලක්ක දෙකම තරගාවලිය අවසන් වනවිට සම්පූර්ණ කරගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. නෙදර්ලන්තයට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසුවේ තම කණ්ඩායමේ අපේක්ෂාවන් සපුරාලීමට පියවර ගත් ආකාරය සම්බන්ධයෙන් සියලු ක්‍රීඩකයන්ට ප්‍රශංසා හිමි වන බවය.

“අපේ පළමු ඉලක්කය වූයේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමයි. මුලින්ම ඒ ඉලක්කය සාර්ථක කර ගත්තා. ඊළඟ ඉලක්කය වුණේ අවසන් තරගය ජයග්‍රහණය කිරීමයි. දෙකම ඉටු වුණා. ඒ සඳහා කැප වූ සියලු ක්‍රීඩකයන්ට ස්තුතිවන්ත විය යුතුයි. පැහැදිලිවම මේ තරගාවලියේදී අපට මුලදී පීඩනයක් එල්ල වුණා. මොකද ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තුව බව අප දැන සිටියා. ඒ නිසා අපිට සතුටින් ශ්‍රී ලංකාවට යන්න පුළුවන් කියලා මම හිතනවා” සිල්වර්වුඩ් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිලේ තරුණ පන්දු යවන්නන් වන ඩිල්ෂාන් මධුශංක, මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග යන ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් ද ක්‍රිස් සිල්වර්වුඩ් මහතා විශේෂ සඳහනක් කළේය. නෙදර්ලන්තයට එරෙහි අවසන් තරගයේදී ඩිල්ෂාන් මධුශංක ලකුණු 18කට කඩුලු 3ක්, තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් හා වනිඳු හසරංග ලකුණු 35කට කඩුලු 2ක් බිඳහෙළා දස්කම් දැක්වීය.

මේ සමග හසරංග තරගාවලිය නිමා කළේ කඩුලු 22ක් ලබා ගනිමින් වන අතර, තීක්ෂණ කඩුලු 21ක් සටහන් කළේය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉන්දියාවේදී දස්කම් අතරට පැමිණීමේ පහසුවක් ඇතිවන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා විශ්වාසය පළ කළේය.

“අපේ යොවුන් පන්දු යවන්නන් ප්‍රදර්ශනය කර ඇති දස්කම් පිළිබඳ සතුටු විය හැකියි. ඔවුන්ට විශාල හැකියාවක් ඇති බව මේ තරගාවලියේදී ඔප්පු කළා. විශාල අනාගතයක් ඇති ඔවුන් අපේ දඟ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කළා. පන්දු යැවීමේ ඒකකයක් ලෙස අපේ සාර්ථකත්වය දැක්කා. සිම්බාබ්වේ එන්න කලින් ඇෆ්ගනිස්තානයට එරෙහිව හොඳ තරගමාලාවක් නිමා කළා. අපේ පන්දු යවන්නන් එම තරගාවලියේ ඉතා හොඳින් පන්දු යැව්වා. ඔවුන් එම වේගය මෙම තරගාවලියට රැගෙන ආවා. අපේ පන්දු යවන්නන් කඩුල්ලෙන් කඩුල්ලට පන්දු යැවීමෙන් වැඩි ප්‍රතිඵල ගත්තා” ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment