දළදා සමිඳුන් අලුත් සහලින් පුදන අලුත් සහල් මංගල්‍යය

1015

I වන විමලධර්මසූරිය රජු (ක‍්‍රි. ව. 1592 – 1604) විසින් දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවරට වඩම්මවා එහි දළදා මැඳුරක් කරවා එහි තැම්පත් කිරීමත් සමග සිංහල රාජත්වයේ උරුමය කන්ද උඩරට රාජධානියට ලැබුනා සේම දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ පරම වගකීම ද උඩරට රාජධානියට ලැබුනු ආකාරයක් හඳුනාගත හැකිය. තවද දළදා වහන්සේ කේන්ද්‍ර කරගෙන දළදා සංස්කෘතියක් ද උඩරට රාජධානියේ ආරම්භ විය. එහිදී දළදා වහන්සේ උදෙසා උඩරට රජදරුවන්ගේ රාජාඥාව පරිදි පවත්වන වාර්ෂිකව සතර මංගල්‍යය සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම සතර මංගල්‍යයන් වනුයේ දුරුතු මාසයේ පවත්වන අලුත් සහල් මංගල්‍යය, බක් මාසයේ පවත්වන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ මාසයේ පවත්වන පෙරහැර මංගල්‍යය සහ ඉල් මාසයේ පවත්වන කාර්තික මංගල්‍යය වශයෙනි. එ් අනුව ව්‍යවහාර වර්ෂ ක‍්‍රමය අනුව වර්ෂයේ ආරම්භයේ දී පවත්වන දළදා පූජෝත්සවය වශයෙන් දුරුතු මාසයට (ජනවාරි) යෙදෙන අලුත් සහල් මංගල්‍යය හඳුනාගත හැකිය.

මහින්දාගමනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලක්දිවට බුදු දහම හිමි වූ අතර එවකට පාලකයා වූ දේවානම්පියතිස්ස රජු (ක‍්‍රි. පූ. 250 – 210) විසින් සමස්ත ශ‍්‍රී ලංකාවම බුදු සසුනට පූජා කළ බව මහාවංසයේ සඳහන් වේ. එතැන් සිට මෙරට සිංහල බෞද්ධ ගොවියන් සිය කුඹුරු සහ හේන්වලින් ලැබෙන ධාන්‍යවලින් අග‍්‍ර කොටස බුදුන් වහන්සේට පූජා කිරීමට යොමු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ජය ශ‍්‍රී මහා බෝධියත්, දළදා වහන්සේ ප‍්‍රධාන කොටගෙන අලුත් සහල් මංගල්‍යයන් පැවැත්වීම ආරම්භ වූ බව හඳුනාගත හැකිය. එ් අනුව රාජත්වයේ සංකේතය වූ දළදා වහන්සේ උදෙසාත්, කන්ද උඩරට රාජධානියේ වූ ප‍්‍රධාන රජ මහා විහාරවල බුද්ධ පූජාවක් වශයෙන් ද, උඩරට රාජධානියේ ප‍්‍රධාන දේවාලවල පවත්වන දේව පූජාවක් වශයෙන්ද මෙම උත්සවය හඳුනාගත හැකිය.

දළදා සමිඳුන් අලුත් සහලින් පුදන අලුත් සහල් මංගල්‍යය

අලුත් සහල් මංගල්‍යය, අලුසාල් මංගල්‍යය, අලුසල් මංගල්‍යය, අග‍්‍රසස්‍ය දානය, අගසස් දානය යන නාමයන්ගෙන් හඳුන්වන මෙම මංගල්‍යය වර්තමාන ස්වරූපයෙන් උඩරට රාජධානියේ ආරම්භ වූයේ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රාජ්‍යය සමයේ (ක‍්‍රි. ව. 1707 – 1739) දී බව මූලාශ‍්‍රය අධ්‍යයනයේ දී තහවුරු වේ. එදා සිට උඩරට කිරීටයේ අණ පරිදි වර්තමානය තෙක් පුරාණ චාරිත‍්‍රයන්ට මූලිකත්වය ලබා දෙමින් සිදු මෙම මංගල්‍යය සිදු කරන ආකාරයක් හඳුනාගත හැකිය. එ් අනුව ‘‘ශ‍්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන මහනුවර

ශ‍්‍රී දංෂ්ට‍්‍රා ධාතු මන්දිරයේ අලුත් සහල් මංගලෝක්සවය යි ’’ යන ශීර්ෂය යටතේ දළදා මැඳුරේ නැකැත් මොහොට්ටාල විසින් නිකුත් කරන සූභ මූර්තියන් අනුව සිදු කරනු ලැබේ. එහිදී රාජකීය අටුව වෙත පෙරහැර පිටත් වීමටත්, දළදා මැඳුරේ ඇතුළු අනිකුත් සිද්ධස්ථානවල ධාන්‍යාගාරවල වී සහල් තැම්පත් කිරීමටත්, මුළුතැන් පූජාව පැවැත්වීමටත් සුබ මූර්ති සකස් කරනු ලැබේ.

එ් අනුව මෙම මංගල්‍යය ප‍්‍රධාන අවස්ථා තුනකින් සමන්විත වන අතර ප‍්‍රථමයෙන් සුබ නැකතට අනුව දියවඩන නිලමේවරයා ප‍්‍රමුඛ දළදා මැඳුරේ රාජකාරි ඇත්තන් සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු ප‍්‍රමුඛ රාජකාරි ඇත්තන් පෙරහැරකින් දළදා මැඳුරේ රාජකීය වී අටුව පිහිටි භූමියට පැමිණේ. එ් අනුව අතීතයේ දී එම වී අටුව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු (ක‍්‍රි. ව. 1747 – 1781) දළදා මැඳුරට පූජා කළ වී අමුණු 18 කින් යුක්ත ගුරුදෙණිය කෙතහි පිහිටා තිබුණු නමුත් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ ඉදි වූ වික්ටෝරියා සංවර්ධන ව්‍යාපෘතියට එය යට වී ඇත. එබැවින් රජය විසින් යක්කුරේ ප‍්‍රදේශයේ අක්කර 25ක ඉඩමක් සහ රාජකීය අටුව ඉදි කිරීමට පල්ලේකැලේ ප‍්‍රදේශයෙන් ඉඩමක් දළදා මැඳුරට පූජා කර ඇත. එබැවින් අලුත් සහල් මංගල්‍යයේ චාරිත‍්‍ර එම පල්ලේකැලේ පිහිටි අටුව කේන්ද්‍ර කරගෙන පැවැත්තේ.

එලෙස රාජකීය අටුව වෙත පැමිණි දියවඩන නිලමේවරයාව විදානේ සහ ගමරාළලා හත්දෙනා විසින් බුලත් හුරුලු දී පිළිගත යුතු අතර රාජකීය නියමය පරිදි ඔවුන් අඩුක්කු නැලි 07ක් සහ වෑංජන 30කින් ආහාර එම ස්ථානයට රැුගෙන ආ යුතුය. එලෙස රැුගෙන ආ ආහාරවලින් පෙරහැරේ පැමිණි පිරිසට සංග‍්‍රහ කිරීම පුරාණයේ සිට එන චාරිත‍්‍රයකි. එයින් පසු සුබ මූර්තියට ම`ගුල් බෙර වයා දෙවියන් උදෙසා දේව ස්තෝත‍්‍ර ගායනා කොට වී සහල් බෙදීම ආරම්භ කරයි. එහිදී මුලින්ම දියවඩන නිලමේවරයා සහල් බෙදීම සංකේතවත් කරමින් රිදී නැලියෙන් සහල් හා වී සුළු ප‍්‍රමාණයක් දළදා මැඳුර වෙන් කර ගනී. ඉන් පසු අටුවේ මනින්නා (මනන්නා) සහ ඔහුගේ සහායකයා විසින් දළදා මැඳුරේ ලේකම් මහතා කියවන ලේකම් මිටියේ සඳහන් ආකාරයට ලැයිස්තු තුනක් යටතේ හාල් සේරු 869ක් දළදා මාළිගාව, මල්වතු – අස්ගිරි උභයමහා විහාර ප‍්‍රමුඛ කන්ද උඩරට රාජධානියේ ප‍්‍රධාන රජමහා විහාර සහ සතර මහා දේවාල ප‍්‍රමුඛ පිටිසර දේවාලවලට වී සහල් බෙදා දෙනු ලබයි.

දළදා සමිඳුන් අලුත් සහලින් පුදන අලුත් සහල් මංගල්‍යය

එ් අනුව පළමු ලැයිස්තුව යටතේ දළදා මාලිගාවට හාල් සේරු 15ක් හා වී සේරු 15ක් ද, දෙවන ලැයිස්තුව යටතේ හාල් සේරු 20ක් ද, තුන්වන ලැයිස්තුව යටතේ හාල් සේරු 10ක් ද හිමිවේ. එමෙන්ම පළමු ලැයිස්තුව යටතේ ලේවැල්ල ගංගාරාමය, කුණ්ඩසාලය, දෙගල්දොරුව ආදි රජමහා විහාරත්, මහනුවර සතර මහා දේවාල සහ පිටිසර දේවාලවලටත් යන ස්ථාන 82කට සහල් බෙදීම සිදු කරයි. අනතුරුව දෙවැනි ලැයිස්තුව අනුව නැවත ගංගාරාම විහාරය, කුණ්ඩසාලේ, දෙගල්දොරුව, අලුත් විහාරය, පරණ විහාරය යන රජමහා විහාරවලටත්, සිව් මහා දේවාලවල යන ස්ථාන 10ට වී සහ සහල් බෙදනු ලැබේ. මෙම දෙවැනි ලැයිස්තුව යටතේ ඉහත දක්වන සහල් ප‍්‍රමාණයට අමතරව දළදා මාලිගාවට හාල් සේරු 45ක්, මහකිරිබොඩ පාත‍්‍රයට සහල් සේරු 80ක් හා වී සේරු 10ක් හිමි වේ. තෙවැනි ලැයිස්තුව යටතේ මල්වතු – අස්ගිරි විහාරවලට, එම පාර්ශ්වවල මහානායක හිමිවරු දෙදෙනාට සහ අනුනායක හිමිවරු සතර දෙනාට, දියවඩන නිලමේවරයාට, බස්නායක නිලමේවරුන්ට ඇතුළු රාජකාරි ඇත්තන්ට වී සහල් බෙදා දෙනු ලැබේ. එ් අනුව වැඩිම වී සහල් ප‍්‍රමණයක් දළදා මැඳුරට හිමි වන අතර යම් ස්ථානයකින් සහල් ලබා ගැනීමට නොපැමිණියහොත් එම ස්ථානයට හිමි විය යුතු සහල් ප‍්‍රමාණය ද දළදා මැඳුරට හිමි වේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සහල් මැනීමේ ‘එක’ යන පදය වෙනුවට ‘ලාබයි’ යන පදය යොදා ‘ලාබයි, දෙකයි, තුනයි,.’ වශයෙන් එ් එ් ස්ථානවලට හිමි සහල් ප‍්‍රමාණයන් මැනීමයි.

මෙලෙස එ් එ් විහාර සහ දේවාලවලට හිමි වූ සහල් හේමකඳහි තැම්පත් කොට වෙන් වෙන්ව එම ස්ථාන කරා වෙන් වෙන්ව ගමන් කරයි. දළදා මැඳුරට සහ සිව් මහා දේවාලවලට හිමි වූ සහල් හේම කඳ තුළ තැම්පත් කොට හස්තීන් සහිත පෙරහැරකින් ලේවැල්ල ගංගාරාම රජමහා විහාරයට පැමිණ එහි එදින රාත‍්‍රියේ සහල් තැම්පත් කරනු ලැබේ. අනතුරුව පසු දින පාන්දර අලි ඇතුන්, ධජ පතාක සහිත පෙරහැරකින් දළදා මැඳුර වෙතත් දේවාල සතර වෙතත් අලුත් සහල් ගෙන ගොස් අනතුරුව සුබ මොහොතට අනුව සහල් ගබඩාවල තැම්පත් කරනු ලබයි. එම වේලාවටම අනිකුත් සිද්ධස්ථානවලත් අලුත් සහල් තැම්පත් කිරීම සිදු කරයි.

දළදා සමිඳුන් අලුත් සහලින් පුදන අලුත් සහල් මංගල්‍යය

මෙලෙස සහල් උපයෝගි කරගෙන අලුත් සහල් මංගල්‍යයේ ප‍්‍රධාන චාරිත‍්‍රය දුරුතු මස පුරපසළොස්වක පොය දිනයේ දී සිදු කරයි. එ් අනුව දළදා මැඳුරේ

ගබඩාවේ තැම්පත් කළ සහල් විදානේවරුන්ගේ මැදිහත් වීමෙන් පිරිසිදු කොට ළිප් බැඳ එ් වටා කහ දියර ඉස සහල් සේරු 80ක බත් පිසිනු ලබයි. එමෙන්ම ඊට සරිලන සේ වෑංජන, අවුලුපත්, පලතුරු ද සූදානම් කෙරේ. ඉන් පසු හදුන් කුඩමේ මහකිරිබොඩ පත‍්‍රය තැම්පත් කොට ඊට සහල් සේරු 80 බත් දමා දළදා වහන්සේ උදෙසා තේවාභාර භික්ෂුන් වහන්සේ සහ දියවඩන නිලමේ විසින් පිළිගන්වයි. මෙම පූජාව නියමිත නැකැත් වේලාවට පූජා කරන අතර සෑම දිනකම පවත්වන සහල් සේරු 32ක සහ වෑංජන 32කින් සමන්විත මහා මුළුතැන් පූජාවට අමතරව මෙම පූජාවන් පිළිගැන්වීම විශේෂත්වයකි. මෙලෙස අලුත් සහල් පූජාව දළදා මැඳුරේ සිදු කරන වේලාවටම ඉහත බෙදා දුන් සහල් හිමි වූ සෙසු ස්ථානවල ද බුද්ධ පූජාව සහ දේව දානය පවත්වා රටට සෞභාග්‍යත්, සමෘද්ධියත් ලැබේවා! යනුවෙන් ප‍්‍රාර්ථනා කරයි.

එ් අනුව කන්ද උඩරට රාජධානියේ පිහිටි ප‍්‍රධාන ආගමික ස්ථානය වූ දළදා මැඳුර මූලික කරගෙන රජමහා විහාරවල බුද්ධ පූජාවක් වශයෙන් ද එහි පිහිටි ප‍්‍රධාන දේවාලවල දේව පූජාවකුත් වශයෙන් අලුත් සහලින් පිසූ ආහාර දළදා වහන්සේ. බුදුන් වහන්සේ සහ දෙවිවරුන් උදෙසා පූජා කොට නිසි කලට වැසි ලැබී අස්වැන්න සාර වී රට ස්වයංපෝෂිත වීම අරමුණ සහිතව පවත්වන උත්සවයක් වශයෙන් මෙම අලුත් සහල් මංගල්‍යය හඳුනාගත හැකිය.

ඩබ්ලිව්. එම්. එම්. සංජය වීරකෝන්
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment