ද්විත්ව පුරවැසියන්ට දොර වැසෙයි ; 21 වැනි සංශෝධනය සඳුදා මැතිසබයට

3931

අධිකරණ ඇමැති විජයදාස වැඩ අරඹමින් කියයි…..

රටේ අනාගත සුබ සිද්ධියට බලපාන තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුවට ද්විත්ව පුරවැසියන් පත්වීම වැළැක්වීම ඇතුළු ඉතා වැදගත් අණපනත් සහිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිටත් සකස් කර ඇති බවත් එය හෙට සඳුදා (23 වැනිදා) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත් වහාම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට පියවර ගන්නා බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විෂය භාර අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය.

මේ වන විට පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් හෝ වෙනත් කුමන ආකාරයකින් හෝ පත්ව ඇති ද්විත්ව පුරවැසියන්ගේ මන්ත්‍රීධුර අහෝසි කිරීම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ යැයිද ඊයේ (20) අධිකරණ අමාත්‍යාංශයේදී නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම ගෙදර යා යුතු බව ඉල්ලමින් තරුණ පිරිස ගාලු මුවදොර පිටියේ අරගල කරනුයේ බලලෝභී තන්හාවෙන් පෙළෙන බොහෝ දේශපාලනඥයන් හා පවුල් දේශපාලනය නිසා රට මෙවැනි අගාධයකට ඇද දැමීම නිසා බවත් තරුණ ප්‍රජාවගේ එකී හඬට කන්නොදී කටයුතු කරන දේශපාලන පක්‍ෂ ද ඊළඟ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්‍ෂේප කරනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අමාත්‍යවරයා ඊයේ (20) පස්වරුවේ ටෙක්නිකල් හංදියේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයට පිවිස කොළඹ මරදාන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති කොළොන්නාවේ නාරද හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය. සුබ මොහොතින් වැඩ භාර ගැනීමේ ලිපියට අත්සන් කළ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාට වැඩ භාර ගැනීමේ ලිපිය භාර දීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතීය.

ගාලු මුවදොර පිටියේ නිහඬ අරගලයක නිරතව සිටි නිරායුධ තරුණ පිරිසට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන්ට මෙන්ම මන්ත්‍රීවරයකු ඇතුළු දසදෙනකුට ජීවිත අහිමි කර දේපළ හානි කළ අනෙක් පාර්ශ්වවලට ද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නේ යැයිද පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment