දාහතරේ දියණිය මුදලට විකිණූ මව රිමාන්ඩ්

695

අවුරුදු දාහතරක් වයසැති බාලවයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සඳහා මුදලට විකිණූ එම දැරියගේ අම්මාව එළැඹෙන 22 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා ඊයේ (11) නියම කළේය.

එම දැරියව අපයෝජනයට ලක්කළ සැකකරුවන් දෙදෙනෙකුද එළැඹෙන 22 දින දක්වා ඊයේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

තම බාලවයස්කාර දියණියව ලිංගික කටයුතු සඳහා මුදලට විකිණීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු 43 හැවිරිදි සිව්දරු මවක් වූ සැකකාරියව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

එම බාලවයස්කාර දැරියව ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන 52 හැවිරිදි අයකු සහ මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පදිංචි 42 හැවිරිදි බණ්ඩාර ගනේගොඩ යන සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

52 හැවිරිදි සැකකරු දෛනිකව කුලී වැඩ කරන අයකු බවත්, 42 හැවිරිදි සැකකරු ටයර් කඩයක හිමිකරුවකු බවත් පොලිසිය පැවසීය. සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනාව මීගමුව මහ රෝහලේ සමාජ රෝග සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර සමාජ රෝග සම්බන්ධව වාර්තාවක් ලබාගෙන එළැඹෙන 22 වැනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරනයෙන් මීගමුව බන්ධනාගාර අධිකාරි වෙත නියම කෙරුණි. දැරියගේ පියා මියගොස් ඇති බවත් සිව්දරු මවක් වන සැකකාරිය පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2000 බැගින් මුදල් ලබාගෙන තම දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැමිණිල්ල මෙහෙයවමින් දිවුලපිටිය පොලිසියේ උ.පො.ප. සුබසිංහ සහ පො.කො. බංඩාර (81532) යන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

වැඩිදුර විමර්ශන සිදුකර දැරියව ලිංගික අපයෝජනයට ලක්කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා පොලිසියට නියම කළ අතර පරීක්ෂණවල ප්‍රගතියද එළඹෙන 22 වෙනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කෙරුණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment