දාහතර හැවිරිදි පාසල් දියණියගේ ශෝකාන්තය

1637

අම්මේ මගේ අත ටිකක් රිදෙනවා යැයි කියූ දුව වමනය දමාගෙන බිම ඇද වැටුණා – මව කියයි

දැරියගේ හදවතේ සිදුරට සැත්කමකුත් කරලා – පොලිසිය කියයි

හෝමාගම, පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලේ නවය වසර ඉගෙනුම ලබන පාසල් සිසුවියක් නිවසේ පාඩම් කරමින් සිටියදී පසුගිය 18 දා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් ඔරුවල දිසා රෝහල වෙත යොමු කිරීමේදී මියගොස් සිටි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන අතුරුගිරිය පොලිසිය කියයි.

මෙම දැරිය කුඩා කාලයේදී හදවත් සැත්කමකටද භාජනය වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මුල්ලේගම, ශ්‍රී සිලාලංකාර මාවතේ දෙවැනි පටුමගේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දිනිති තිමාරා නමැති 14 හැවිරිදි පාසල් දැරියකි.

ඇය ඉකුත් 18 වෙනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී මිතුරියක හා නිවසේ උඩුමහලේ පාඩම් කරමින් සිටියදී “අම්මේ මගේ අත ටිකක් රිදෙනවා…” යයි පවසමින් පහළ මාලයට පැමිණ සිය මවට ඒ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී නිවසේ තිබූ තෙල් වර්ගයක් රිදුම් දෙන ස්ථානවල ගල්වා දියණිය නැවත පාඩම් සඳහා යොමු කිරීමට මව පියවර ගෙන තිබේ. පසුව නැවතත් උඩුමහලේ පාඩම් කරමින් සිටි සිසුවිය වමනය කරමින් එකවරම බිම ඇද වැටී ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. එසේ අසනීප වූ සිසුවිය ඔරුවල දිසා රෝහල වෙත යොමු කිරීමට නිවැසියන් පියවර ගෙන තිබුණද ඒ වන විටත් ඇය මියගොස් සිටි බවට වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එම ස්ථානයට පැමිණි තලංගම හදිසි මරණ පරීක්ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ කටයුතු සඳහා දේහය හෝමාගම මූලික රෝහල වෙත යොමුකරන ලෙස අතුරුගිරිය පොලිසියට නියෝග කරන ලදී. මියගිය දැරියගේ හදවතේ වූ සිදුරක් මෙයට මාස පහකට පෙර ශල්‍ය කර්මයකට භාජනය කර තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි. අතුරුගිරිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත නිලධාරින් පිරිසක් පරීක්ෂණ මෙහෙයවති.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment