දුමින්ද-ළහිරු ඇතුළු 9ක් රිමාන්ඩ්

164

24 දෙනකුට ඇප

පෙරටුගාමි සමාජවාදී පක්ෂය සමග සමීපව කටයුතු කරන ‘ජන අරගල ව්‍යාපාරය’ සංවිධානය විසින් පෙරේදා (20දා) පස්වරුවේ කොළඹ පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හා ගයනා රංජනි නමැති සැකකරුවන් සිවුදෙනකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

එම සැකකරුවන් සිවුදෙනාට අමතරව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ තවත් සැකකරුවන් පස්දෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අද (22දා) දිනයේ ආවරණය කොට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන් 5දෙනා අද (21දා) දක්වා රහිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් 33දෙනා අතරින් සැකකරුවන් 24දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම විරෝධතා ව්‍යාපාරයේදී තුවාල ලැබූ තවත් සැකකරුවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාදෙන බව පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වූ අතර එම සැකකරුවන් දෙදෙනා නිරීක්ෂණය කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා ඊයේ (21දා) පස්වරුවේ රෝහලට ගොස් ඔවුන්ට ද ඇප දුන්නේය. ඇප ලැබූ 24 දෙනාට ඔවුන් ද ඇතුළත්ය.

එම විරෝධතා ව්‍යාපාරයේදී විරෝධතාකරුවන් එල්ල කළ ගල්මුල් ප්‍රහාරවලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පස්දෙනකු ද රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද කොටුව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

භාණ්ඩ මිල ඉහළ යෑම හා රජය විසින් අස්සන් කොට ඇති විදේශ ගිවිසුම්වලට විරෝධතාවය දක්වමින් එම විරෝධතා ව්‍යාපාරය පැවැත්වූ අතර එහිදී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකරමින් විරෝධතා ව්‍යාපාරය මැඬපවත්වා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment