දූෂිතයන් උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා – සියලු ජනයා නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – ජාජබ නායක අනුර දිසානායක යාපනේදී කියයි

114

උතුරේ, දකුණේ, නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැවසීය.

පසුගියදා යාපනයේ දී පැවති ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට රැකියාවක් නැහැ. අපේ කාන්තාවන් විශාල ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා. අපේ රටට ගත්ත ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක හිරවෙලා, කිසිදු ආයෝජකයෙක් එන්නේ නැති රටක් බවට පත්වෙලා. අලුත් ණයක් අරගන්න බැරිතරමට ලෝකය තුළ විශ්වාසය බිඳ වැටිලා. මේ රට ගොඩනගන්න අපට අවශ්‍යයි. අපි ඔබ හමුවෙන්න ආවේ මේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? මේ රට ගොඩනගන්නේ කොහොමද කියලා කතා කරන්න.

අපේ රටේ ඇතිවී තිබෙන මෙම අර්බුදය ස්වභාවික විපතක ප්‍රශ්නයක්ද? මහා ගංවතුරක්, සුළි කුණාටුවක්, සුනාමියක් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්ද? නැහැ මෙය අපේ රට දීර්ඝ කාලයක් පාලනය කරන ලද කණ්ඩායම් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්. විශේෂයෙන් අපේ රට අනුගමනය කරන ලද දේශපාලන සංස්කෘතියත්, ආර්ථික ප්‍රතිපත්තියත්, මේ අර්බුදය ඇතිකර තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ දේශපාලන සංස්කෘතියත්, ආර්ථික ප්‍රතිපත්තියත් වෙනස් වෙන්න ඕනෑ. අපි දන්නවා මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව. උතුරේ ජනතාව ජනාධිපතිවරණයකට උනන්දු නොවෙන බව අපි දැක තිබෙනවා. අපේ රටට ජනාධිපතිවරයෙක් තෝරන එක, කොළඹ නායකයෙක් පත්කරගන්නා සිංහල ජනතාවගේ වැඩක් වගේ අදහසක් තිබෙනවා. අපේ රටේ තෝරන ලද ජනාධිපතිවරුන් අනුගමනය කළ ප්‍රතිපත්ති උතුරටත් දකුණටත් විනාශකාරී ලෙස බලපා තිබෙනවා. ඒ නිසා රටට නායකයන් තෝරා ගැනීමේදී උතුරේ ජනතාවගේ සක්‍රීය මැදිහත්වීම අවශ්‍ය යැයි අපි සිතනවා.

අපි ඔබව හමුවෙන්න ආවේ, ඔබලාට 13 ප්ලස් දෙන්නම්, ෆෙඩරල් දෙන්නම්, ඔබ අපට ඡන්දෙ දෙන්න කියා ඉල්ලන්න නොවෙයි. අපි ඔබ හමුවෙන්න ආවේ මේ රට කඩා වැටී තිබෙන විපත්තියෙන් ගොඩගන්නේ කොහොමද කියා කතා කරන්න. දීර්ඝ කාලයක් අපේ නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට අපේ රට ගොඩගන්න පුළුවන්ද කියා කතා කරන්න. අපි හැමදෙනාටම කියන්නේ අපේ රටට අලුත් පාරක් ඕනෑ කියලා. ඒ නිසා අපි ආවේ අලුත් පාරක් සොයා බැලීම ගැන කතා කරන්න. අපේ රට වෙනස් කරන්න නම්, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය මොකක්ද? ඉතාමත් විනාශකාරී පොලිටිකල් කල්චර් එකක් තමයි මේ රටේ තියෙන්නේ. වංචාවෙන් දූෂණයෙන් පිරී තිබෙනවා. භාණ්ඩාගාරයට එන මහජනයාගේ ධනය ඇමතිවරුන්ගේ ගිණුම්වලට, කූට ව්‍යාපාරිකයන්ගේ ගිණුම්වලට හරවා තිබෙනවා. භාණ්ඩාගාරයට ආපු ධනය දේශපාලකයන් නාස්ති කරනවා, සොරකම් කරනවා.

අපේ රටේ උතුරේ ජනතාවත්, දකුණේ ජනතාවත් මේ දූෂිතයන්ගේ ග්‍රහණයට අසුවී සිටිනවා. මේ දූෂිතයන් උතුරෙත් දකුණෙත් අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරමින් ඉන්නවා. අපේ රට ගොඩනගන්න මේ දූෂණය නතර කළ යුතුයි. අපි ජාතික ජන බලවේගය ඒ වැඬේ කරන බවට ඔබට සහතික වෙනවා. මහජනයාගේ ධනය නාස්තිකරන දේශපාලනය නතර කරන්න ඕනද? නැද්ද? අපේ රටේ කිසිදු මූල්‍ය රෙගුලාසියකට අනුව ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල් ගෙවන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් ඇමැතිවරයාට අවශ්‍ය වෙන මුදල්, ප්‍රතිපාදනය කොට දෙනවා. හැබැයි, ඇමතිවරුන්ගේ ගෙවල්වල වතුර බිල්, ලයිට් බිල් ගෙවන්නේ මහජනතාවගේ ධනයෙන්. සමහර ඇමතිවරුන්ගේ මාසික ලයිට් බිල එක්ලක්ෂ තිස්දාහයි. ගෙවන්නේ මහජනතාවගේ ධනයෙන්. වැසිකිළි කැසිකිළි පහසුකම් දෙන්නේ මහජනයාගේ ධනයෙන්. ඇමතිවරයාට, බිරිඳට, ඔහුගේ දරුවන්ට මහජනතාවගේ ධනයෙන් වාහන ලබාදෙනවා. මේ නාස්තිකාර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනද? නැද්ද?

දූෂිතයන් උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා - සියලු ජනයා නියෝජනය කරන ආණ්ඩුවක් හදමු - ජාජබ නායක අනුර දිසානායක යාපනේදී කියයි

ජනාධිපතිවරයාට විදෙස් සංචාරය සඳහා අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඒ වෙන්කළ මුදල් ජනාධිපතිවරයා අවුරුද්ද පටන් ගන්නකොටම වියදම් කර ඉවරයි. පසුගිය දිනෙක රුපියල් මිලියන 200ක් ඔහුගේ විදෙස් සංචාර සඳහා වෙන්කර ගත්තා. තනි පුද්ගලයෙක් වෙනුවෙන් එතරම් මුදලක් දැරිය යුතුද? මේ අපේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගේන්න, දරුවන්ට උගන්වන්න, පහසුකම් දෙන්න, ගමේ පාර හදන්න, පානීය ජල ව්‍යාපෘතියක් දියත් කරන්න, තිබෙන සල්ලි, අතළොස්සක් නාස්තිකරමින් තිබෙනවා. අන්න ඒ දේශපාලන සංස්කෘතිය අපි නතර කරන්න ඕනෑ.

ඒ විතරක් නොවෙයි, අපේ රටේ අපරාධ, කුඩු ව්‍යාපාර පිටුපස්සේ ඉන්නේ දේශපාලකයන්. අපරාධකරුවන්, කුඩු ව්‍යාපාරිකයන් රටක් පාලනය කරනවා. එහෙම රටකට ඉදිරියට යන්න හැකිද? අපේ රටේ නීතියක් තිබෙනවා. පොඩි අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. උඩ අය නීතියෙන් බේරෙනවා. වර්තමාන පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවම් ලබපු කෙනෙක්. ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තිබෙනවා. එහෙම කෙනෙක් කොහොමද, රටේ නීතිය සාධාරණව ඉටුකරන්නේ. සියලුම සංස්ථා කඩා වැටී තිබෙන්නේ. එහෙම රටකට ඉස්සරහට යන්න හැකිද? ඔබට යම් ප්‍රශ්නයක් වෙලා පොලීසියට ගියොත් සාධාරණත්වය ඉටුවෙයි කියා විශ්වාසයක් තිබෙනවාද? එහෙම විශ්වාසයක් නැහැ. අපි ඉදිරියේ තිබෙන්නේ කඩා වැටුණු රාජ්‍යයක්. උතුරේ, දකුණේ, නැගෙනහිර බේදයකින් තොරව, අපි කඩා වැටුණු රාජ්‍යයේ ගොදුර බවට පත්වී තිබෙනවා.

අපි උතුරේ නායකයන්ට ආරාධනා කරනවා උතුරේ දේශපාලන ප්‍රශ්නය විසඳීමේ දේශපාලනය බවට පත්කර ගනිමු. අපි එක්වෙලා එක ආණ්ඩුවක් හදමු. අපි අලුතින් හිතමු. අපි එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී නොවෙන්න පුළුවන්. ඒත් අපිට දැනෙනවා ඔබගේ වේදනාව. අපි හදන්න ඕන අලුත් රටක්. උතුරේ ජනයා, නැගෙනහිර ජනයා, දකුණේ ජනයා සියලු දෙනා නියෝජනය කරන ආණ්ඩුවක් හදමු. ඒ සඳහා සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි මේ පටන් ගන්නා ලද කුඩා පියවර අපේ රට විශාල ජයග්‍රහණයකින් කෙළවර කළ හැකියි කියා අපි විශ්වාස කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment