දෙහිවල ගුවන් පාලම අසලදී තරගයට ධාවනය වුණු බස් දෙකට මැදිවූ ත්‍රිරෝදයේ රියැදුරු මරුට

276

දෙහිවල ගුවන් පාලම අසලදී ඊයේ (29 දා) උදෑසන 7.35ට පමණ ත්‍රිරෝද රථයක් බස්රථ දෙකකට මැදිවී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස ටෙම්පල් පාර, පළමුවැනි හරස් පටුමඟ, අංක 75/86/සී හී පදිංචිව සිටි ත්‍රිරෝද රථ රියැදුරකු වන දෙහිවලගේ ඇන්ටන් ක්‍රිශාන්ත නම් 56 හැවිරිදි පුද්ගලයෙකි. ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 හා අඟුලාන – හෙට්ටියාවත්ත (155) දරන බස්රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව තිබේ. මෙම බස්රථ දෙක ගාලු පාර ඔස්සේ කොළඹ දෙසට තරගයට ධාවනය කරමින් සිටියදී දෙහිවල ගුවන් පාලම අසලදී එකිනෙක ඉස්සර කිරීමට යෑමේදී බස්රථ දෙකට මැදිවුණු ත්‍රිරෝද රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. ඉන් ත්‍රිරෝද රථ රියැදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත. ත්‍රිරෝද රථ රියැදුරු තම බිරිඳ සමග පැමිණ ඇය දෙහිවල බස් නැවතුමෙන් බස්සවා මීටර් කිපයක් ඉදිරියට යෑමත් සමග අනතූර සිදුවී ඇති අතර ඇයගේ ජීවිතය බේරි ඇත්තේ අනූනවයෙනි. මෙම සිදුවීමට අදාළ කොළඹ – මොරටුව හා අගුලාන – හෙට්ටියාවත්ත බස් රථවල රියැදුරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අනතුරට පත් පුද්ගලයාගේ මළසිරුර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment