ධර්මයට ගැරහීමේ ඩොලර් කලාව

1642

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ගැන දැන් කතාවක් නැත. නමුත් ඇය මෙරට මහා සංස්කෘතියට එරෙහි තැනැත්තියකි. පසුගිය වසරේ අප්‍රේල් මස කොළඹ පැවති “මෝඩාභිමානය” නැමැති වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය ප්‍රකාශ කර තිබුණේ කවරක්ද? අර සුද්ධෝධනගේ ළමයා ඉපදුන දවසෙම ඇවිදලා ඉපදුන දවසෙම කවියක් කියලා.. ඒ ළමයාගේ අම්මත් නැහැ.. ආදී වශයෙන් ඇගේ “මෝඩාභිමානය” ප්‍රකට කර තිබිණි. මේ අය ඉලක්ක කරන්නේ බුද්ධාගම මිස වෙනත් ආගම් නොවීම විශේෂයකි.

‘ස්වර්ගයට යවන’ බවට දේශනා කරමින් සිය අනුගාමිකයන් 429 දෙනකු මරු තුරුළට යැවූ දේවගැතිවරයකුට ත්‍රස්ත ක්‍රියා චෝදනා මත නඩු පවරා ඇති බව කෙන්යාවෙන් වාර්තා වූයේ පසුගිය සතියේය. දේවගැති පෝල් මැකන්සි සිය Good News International Church රජය නමැති සභාවේ සාමාජිකයන්ට ලෝකාවසානයට සූදානම් වන ලෙසත් ජේසුතුමන් හමුවීම වෙනුවෙන් නිරාහාරව සිට මියයන ලෙසත් උපදෙස් ලබා දී තිබිණි. පෝල් මැකන්සිගේ පල්ලිය අසල පිහිටි ෂකහෝලා නමැති හුදකලා වනාන්තරයේ ළමුන් ඇතුළු 429 දෙනකුගේ මළ සිරුරු ගොඩගන්නා ලද්දේ පසුගිය වසරේ මැයි මාසයේදීය. මෙහිදී මියගොස් සිටි බොහෝ පිරිසක් ආහාරයක් නොලැබුණු බවට සලකුණු පෙන්නුම් කළ අතර ඔවුන් අතර සිටි දරුවන්ට පහර දී ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත්, සිය සභාව 2019 වසරේදී වසා දැමූ හෙයින් එම මරණ සම්බන්ධ වගකීම තමාට භාරගත නොහැකි බව මැකෙන්සි පවසා තිබේ. එහෙත් එක් සාක්ෂිකරුවකු පවසා ඇත්තේ “ස්වර්ගයට ඇතුළු වීම සඳහා” නිරාහාරව සිටීම ආරම්භ කරන ලෙස ඔවුන්ට පසුගිය වසරේ ජනවාරි මාසයේදී උපදෙස් ලැබුණු බව ය.

දේවගැති පෝල් මැකන්සි ගැන සඳහන් කරන්නට සිදු වූයේ පසුගිය කාලය පුරාම මෙරට ආගමික සහජීවනය නැතිවන ආකාරයේ විවධ පුද්ගලයන් මතුවීම නිසාය. මේ පුද්ගලයන් හා කණ්ඩායම්වල ඉලක්කය බුද්ධාගම මිස අන් කිසිවක් නොවේ. බෞද්ධ සංස්කෘතියට නිග්‍රහ කිරීමේ ව්‍යාපාරයක් ඇති බව නොරහසකි. එයට හොඳින් විදෙස් ආධාර ලැබේ. එය බුදු දහමට අපහාස කිරීම සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් දක්වා තිබිණි. බුදු දහමට අපහාස කිරීම විවිධ පිරිස් අතින් අද සිද්ධ වෙනවා. බුදු දහමට අපහාස වන අයුරින් හැසිරෙන භික්ෂුන් වහන්සේලාට රුපියල් කෝටි ගණනින් විදේශ රටවලින් මුදල් ලැබෙනවා. සමහරු බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් බුදු දහමට අපහාස කරනවා. ඒ අතරේ අන්‍යාගමික පූජකවරු පවා නොබියව බුදු දහමට අපහාස කරනවා. ඒ වගේම බුදු දහමට අපහාස කරන නිරාගමිකයන්ටත් විදේශවලින් මුදල් ලැබෙනවා. ඒ නිසා මේ බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් කියන එක ඉතාම පැහැදිලියි. ජෝන් ඩොයිලි කිව්වා වගේ මේ රටේ කොඳු නාරටිය බිඳින්න නම් ගමයි පන්සලයි අතර තිබෙන සම්බන්ධය බිඳින්න ඕනි. ඒක තමයි දැන් ඔය කරමින් තිබෙන්නේ. අද ඕනෑම අයකුට සිවුරක් ඇඳගෙන සමාජයේ පිලිකුලට ලක් වෙන උපහාසයට ලක්වන හාස්‍යයට ලක්වන ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ අයව අත්අඩංගුවට ගන්න බෑ. හාමුදුරුවරු සිවුරු අඳින්න ඕනි කියලා විනය නීතියක් තිබුණාට වෙනත් අයට සිවුරු අඳින්න බෑ කියලා නීතියක් නෑනෙ. ඒ නිසා සිවුරක් ඇඳගෙන ප්‍රසිද්ධියේ මොන පිස්සුව නැටුවත් අත්අඩංගුවට ගන්න බෑ. තමන් කැමැති ඇඳුමක් අඳින්න හැමෝටම පුළුවන්නේ. වසර 2300 පුරාවට මේ රට තුළ චීවරයට තිබූ ගෞරවය රැක ගැනීමට නම් සිවුරු දැරීම භික්ෂුන් වහන්සේට සීමා කරන නීතියක් වහාම ගේන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ගම්මන්පිල මහතාගේ අදහස ඉතා වැදගත් බව සටහන් කළ යුතුය. මෙලෙස අපහාසය ඉදිරියට ගියහොත් එය බරපතළ අවුලක් මෙන්ම කෝලහාලයක් ඇතිවීමට පවා ඉඩ තිබේ.

ඉකුත් වසරේ අප්‍රේල් මස පැවැත්වූ දේව මෙහෙයකදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළ පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු හොර රහසේම ලංකාවෙන් පැන ගියේය. මාස ගණනාවකට පසු ලංකාවට පැමිණි ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත විය. දේව ගැති ජෙරොම් ප්‍රනාන්දු ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කරනු ලැබුවේ පසුගිය ජනවාරි 3 වැනිදා දිනයේය. දැන් යළිත් ඔහු කටුනායක ඩෝම් පල්ලියේ දේශනා පවත්වමින් සිටී. ප්‍රකට ගායිකාවෝ එම පල්ලියට ගොස් ජෙරම් සමග එක්ව දේව ගීතිකා පවත්වති. ජෙරම්ට අවශ්‍ය මෙරට බහුතරය ක්‍රිස්තියානි කිරීමටය. එය ඔහුගේ ප්‍රකාශ මගින් පවා හෙළිව තිබේ.

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ගැන දැන් කතාවක් නැත. නමුත් ඇය මෙරට මහා සංස්කෘතියට එරෙහි තැනැත්තියකි. පසුගිය වසරේ අප්‍රේල් මස කොළඹ පැවති “මෝඩාභිමානය” නැමැති වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය ප්‍රකාශ කර තිබුණේ කවරක්ද? අර සුද්ධෝධනගේ ළමයා ඉපදුන දවසෙම ඇවිදලා ඉපදුන දවසෙම කවියක් කියලා.. ඒ ළමයාගේ අම්මත් නැහැ.. ආදී වශයෙන් ඇගේ “මෝඩාභිමානය” ප්‍රකට කර තිබිණි. මේ අය ඉලක්ක කරන්නේ බුද්ධාගම මිස වෙනත් ආගම් නොවීම විශේෂයකි. “මෝඩාභිමානය” හරහා චන්ඩි ප්‍රකාශ කර ලංකාවෙන් පැන යෑමට උත්සහ කරද්දී ඉකුත් වසරේ මැයි 28 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී මේ කාන්තාව අත්අඩංගුවට පත්විය. ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශයක් ලබාදීමේ චෝදනාව මත සේපාල අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ ජනවාරි මාසයේය. මොහුට කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවූ අතර ඔහු තම චන්ඩි ප්‍රකාශ අතහැර ප්‍රසිද්ධියේ සමාව ඇයද සිටියේය. නමුත් මොහු බෞද්ධ විරෝධියෙකි. බුදු දහමට සහ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ලෙස ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබුණු අතර ඒ නිසාම මොහු අත්අඩංගුවට පත්විය. සේපාල් සිදු කළේ ඩොලර් ඉපයීම වෙනුවෙන් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩට පහරදීමේ උපායකි.

අලුතෙන්ම මතුවූ අවලෝකේතීෂ්වර බෝධිසත්වයන් වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තා ජනවාරි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මේ පුද්ගලයා අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය. දැන් පහළවී නැත්තේ දේවදත්ත පමණි. ඉදිරි දිනයක යශෝධරා තමා යැයි කියා ගන්නා කාන්තාවක් ඉදිරිපත් වුවහොත් ඒ ගැන කලබල විය යුතු නැත. කෙසේ නමුත් මේ ඊනියා අවලෝකේතීෂ්වර ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පවසා තිබිණි. “ස්වාමීනි…. මේ සැකකරු 1979 වසරේ ජූනි මස 23 වැනිදා උපත ලබා තිබෙනවා. ඉන් පසුව ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වුණා. 2012 වසරේ ඔහු ඊජිප්තුවට පිටත්ව ගියා. එහි තිබෙන ඇමෙරිකානු කඳවුරක නිලධාරියකුගේ නිවසේ සුනඛයන් බලා ගැනීමේ රාජකාරියේ ඔහු නිරත වී තිබෙනවා. පසුව ඉකුත් ජනවාරි 01 වැනිදා මෙරටට පැමිණියා. ගුවන් තොටුපළේ සිට කැලණිය විහාරයට ගොස් තමන් බෝධිසත්වයකු බව අඟවමින් රංගනයක නිරත වුණා. තමන් ශ්‍රී ලංකාව බේරා ගැනීම සඳහා මෙරටට පැමිණි බවත් ප්‍රකාශ කර තිබෙනවා” ලංකාව බේරා ගැනීම කෙසේ වෙතත් තමාව බේරා ගැනීමට මහින්ද කොඩිතුවක්කුට වෙහෙසෙන්නට සිදුව තිබේ. මේ සියල්ල එකම ආකාරයේ රංගන බව පැහැදිලිය.

“විශ්ව බුද්ධි මුනි” නමින් ප්‍රකට වූ සිවුරක් දවටා ගෙන සිටින පුද්ගලයාද තක්කඩියෙකි. මොවුන් වහාම ශාසනයෙන් පන්නා දැමිය යුතුය. නටාෂා කළ හානියට වඩා හානියක් මේ තක්කඩියා සිදු කරන බව පෙනේ. සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන “ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරි නිසා අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නම් මොහු යළිත් බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ පසුගිය සතියේ කරුණු දක්වා තිබිණි. මොහු ඊයේ නැවත පොලිස් අත්අඩංගුවට පත්විය.

ආගමික දර්ශනවාදී දේශනා පවත්වන්නකුව සිටි රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති දේශකයා ඉකුත් දෙසැම්බර් 28 වැනිදා සිය දිවිනසා ගත් අතර පසුව ඔහුගේ පාරේ යමින් 07 දෙනකු පරලොව ගොස් තිබිණි. ඉක්මනින් නිවන් සෙවීමේ සයනයිඩ් කලාව ප්‍රසන්න හඳුන්වා දී තිබිණි. මේ නිසා කිසිවක් නොදන්නා ඔහුගේ දරු තිදෙනාද පරලොව ගොස් ඇත. දිව්‍ය ලෝකයට යෑම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් මොහු විසින් ප්‍රචාරය කර තිබිණි.

සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය ‘මොරිස් මොහාන්’ නම් තරුණයාද මහරගමදී සියදිවි නසාගෙන තිබුණේ සිය ආගමික නායකයා අනුව යමිනි. ඔහු වෙනුවෙන් තැබූ මුහුණු පොතේ සටහනක් මෙසේ විය. “මොරිස් උඹට පිස්සුද මිනිහෝ පිස්සෙක්ගේ කතා අහල මෙහෙම ජීවිතේ අතඅරින්න.. නිවන් සුව මලයා…” කවුරු වුණත් මැරිච්ච එක පව්! ඒ වුණාට මූ බත් කන හරකෙක්.. කෙනෙක්ගේ දේශනාවක් අහල සිය දිවි හානි කරගන්න තරම් මෝඩයෝ තව කී දෙනෙක් ලංකාවේ ඇතිද? පිරිසිදු බුද්ධ ධර්මය තියෙන්නේ විනාඩියක් හරි ජීවත් වෙන්න කියලා. මන්ද මිනිස් ආත්මයක් ලබාගන්නේ ඉතාම කලාතුරකින්.’ මේ සටහන් තුළින්ම මොහාන්දකාරයට බිළිවූ පිරිස ගැන යම් අවබෝධයක් ලබාගත හැකිය. එය ඔවුනගේ මිතුරන්ට දැරිය නොහැකිය. මියගිය තරුණයා පවසා තිබුණේ ‘මේ නැතිවුණු රුවන් ප්‍රසන්න මගේ ශාස්තෘවරයා… මමත් ධ්‍යානයක් ලබලා ඉන්නෙ… මෙතුමාගෙ අනුගාමිකයෙක් මං…” යනුවෙනි.

බුදුරදුන් පිරිනිවී දැනට වර්ෂ දෙදහස් පන්සියයක් ඉක්ම ඇත්තේ ය. ඒ දීර්ඝ කාලයෙහි භික්ෂු පරපුර එදා බුදුරදුන් සමඟ විසූ භික්ෂූන්ගෙන් බොහෝ දුරට පෙරළී ඇත්තේ ය. වර්තමාන භික්ෂු පිරිස මෙයින් වර්ෂ දෙදහසකින් පෙර විසූ භික්ෂූන්ගේ තත්ත්වයට ආපසු පෙරළීම නම්, මොනම බලයකින් වත් නොකළ හැකි වැඩකි. එබැවින් එදා සිටි භික්ෂූන්ගේ තත්ත්වයෙහි සිටින භික්ෂූන් අද බලාපොරොත්තු නොවිය හැකි ය. අද බලාපොරොත්තු විය යුත්තේ වර්තමාන ලෝක තත්ත්වය අනුව ගුණවත් පැවිද්දන් ය. එසේම බෞද්ධයාද ඊනියා ආගමික රැළි වලට හෝ තක්කඩින්ට රැවටිය යුතු නැත. කවරක් නමුත් මේ ශාසන විරෝධී වැඩපිළිවෙළ ගැන සැවොම අවබෝධයෙන් සිටිය යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment