නරි උගුලේ වැටුණ සිංහ දෝණිය

73

එක්තරා වනාන්තරයෙක් මධ්‍යයෙහි වූ විශාල ගල් පර්වතයෙක ගුහාවක් වාස භවනය කොට ගෙන තේජාන්විත සිංහ පවුලක් වාසය කළා.

ගමේ සිංහ රාජයා ඒ වන ප්‍රදේශයේ ප්‍රාදේශික ප්‍රාධානියා, නායකයා, හැටියටයි කටයුතු කෙරුවේ. එම ප්‍රදේශය තුළ වාසය කළ සෑම සියලු සතෙක්ම මේ සිංහ රාජ තෙම ගේ ඕඩර්ස්වලට කීකරු විය යුතු වුණා. මේ ලයන්ස් ක්ලබ් එකේ තුන්දෙනයි. ඒ කිව්වේ ප්‍රාන්ත මහ ඇමැති වන සිංහත් ඔහුගේ භාර්යා තොමෝත් එකම දියණිය සිංහ සීවලිත්.!

නරි උගුලේ වැටුණ සිංහ දෝණිය

සිංහ සීවලි හරිම අබිලික් කැරැක්ටර් එකක්. පප්පාගේ ඇමැති පට්ටමේ අනුහසින් ආනුභාවයෙන්, පවර් එකෙන්, ඒ පැත්තේ ඉන්නා වූ සෑම සතා සීපාවෙකුටම මේ ඩෝටර් නිකං අපහාසෙ දානවා කෝචොක් කරනවා තුට්ටු දෙකේ ගෙම්බර් පාට් දානවා. හයි ෆයි ටෝක්ස් දෙනවා. මේ හින්දාම දවසින් දවස සිංහ ෆැමිලි එක වනාන්තරයේ එවුන්ට වහ කදුරු වෙන සයිස් එකක් උදා වුණා.! කොටින්ම කියනවා නම් මේ චීෆ් ලයනල් ගේ ඩෝටර්ව වනාන්තරයේ එවුන් අඩුගානේ හීනයකින්වත් දකින්නට කැමැති වුණේ නෑ. පයිසෙකට වත් මායිම් කළේත් නෑ. මෙයා ඒ තරමටම අප්සට් කේස් එකක්.!

ඉතිං දවසක් හැන්දෑවේ නරියෙක් මොකක්දෝ ඔෆීෂියල් ජොබ් එකකට මේ ලයන් හවුස් එක ළඟින් යනවා දැකලා මේ සිංහ ඩෝටර් ඔන්න සුපුරුදු මවුත් ඕගන් එකෙන් නරියාට ටෝකක් දුන්නා.

ඒයි ජැකෝලියා!…. තොපි දැන් ලොකු මිනිස්සු වෙලා නේහ් ! තොපි අහසින් ගියත් අපි මායිං කරනවද? තොට ඔය ෆොක්ස් වැගන් කටුවක් තිබුණට අපි ළඟ තියෙන්නේ පැජරෝ මොන්ටෙරෝ ඉන්ටර්කූලර් !! හෙහ් ! අපේ බංගලාවේ කටුසූප්පු කර කර හිටිය තොපි දැන් අපේ ඩැඩීටත් ඉහළින් යන්නේ!. එහෙමනේ ! ලොකු එකා මෙඩිසින් ගියා කියලා…. දෙවැනි එකී ඉංජිනියරිං ෆැකල්ටියේ කියලා… ඊළඟ එකා අයි ටී ඩිග්රිය කරනවා කියලා… තොපි ලොකු මිනිස්සු වෙලානේහ් ! මතක තියා ගනිං නරියෝ තොපේ පැටව් මොන දේශ දීපංකරේ ගිහිං ඩිග්රි බිග්රි ගැහුවත් තොපි නරි පවුලේ එවුන් විත්තිය … අපේ ඩැඩීට, ඕන්නං පුළුවන් තොපේ ඔය හයි ෆයි තත්පරෙන් බිංදුවට දාන්න… ඒ කාලේ අපේ බංගලාවේ කටු කන කොට තුනට නැමිලා වලිගේ දෙපරංද අස්සේ ගහගෙන හිටපු එවුන් දැන් අපිටත් ඉහළින් යන්නද කල්පනාව !! අපේ ඩඩා මේ ඒරියා එකේ මහ ඇමැති වෙලා ඉන්නකං… ඒවා සුම්මා හරිද නරියෝ…!!

කළ වරදක් නැතුව නිකරුනේ අතරමග දැකපු පලියට මේ විදියට ටෝකක් දීම ගැන නරිනිඳුට මල පැන්නා ! යකෝ මේක මාර අපහාසයක් නේ… මූව මෙතෙන්ට පත් කෙරුවේ අපි ! දැන් අපිටම නිකං කිණ්ඩි ටෝක්ස් දානවා.

මේකිගේ මොළේ මඤ්ඤං වෙලාද කොහෙද! හරි හරි… මං ඉන්නෙත් මේ කැලෑවෙම නේ. ටයිම්ස් එක ආවාම දෙන්නම් කෝ මං රිටන්ස් එක… වන සිංහ පරම්පරාව බලුසිංහ වෙන්න… !

සිංහ දියණිය ගේ අපහාස ටෝක් එකෙන් බලවත් චිත්ත පීඩාවට පත් නරියා සිංහ ඩෝටර්ට හොඳ අංචියක් අදින්නං යැයි සිතා එදා කැලෑවට රිංගුවා.! දෙන ගේම මොකක්දැයි ඩේ ඇන්ඩ් නයිට් කල්පනා කළා! හරි! අල්ලපු ප්‍රාන්තයේ මහ ඇමැති වලි සිංහට ඉන්නවා නියම අංජ බජල් පුත් කුමාරයෙක් ! නම මාරසිංහ උගේ වැඩත් නමටම ගැළපෙනවා.! ඌ මේ ලෝකයේ නොකරන දුෂ්චරිතයක් නෑ ! අරක්කු නැතිනම් කුඩු නැතිනම් මොන බම්බුවකට මේ ලෝකේ ජීවත් වෙන්නද රෑ කප් එක ගහලා ආදාහනාගාරයට රිංගනවා මිසක්… මෙන්න මේ පොරට මොන ක්‍රමේකින් හරි මේකිව මාට්ටු කළා නං… හෙහ් !… හෙහ් !… හෙහ් ! මේ සිංහ කුමාරිකාව ජීවිතේ නියමෙට විඳවයි. නරිනිදු තමන්ට දීපු අපහාසයට රිටන් එක දෙන්න ගානට ලනුව ඇඹරුවා !

මේ අල්ලපු ප්‍රාන්තයේ ඉන්න මහ ඇමැති ගේ පුතා මාර සිංහ ටීටෝට්ලර් කෙනෙක්. තේ බොන්නෙත් සීනි නැතුව … මොකද සීනිවල ඇල්කොහොල් තියෙනවා කියලා. විදේශ චාරිකාවක් යනවා නම් කේරළය පැත්තෙන් යන්නේ නෑ. ඒ පැත්තේ ගංජා තියෙනවා කියලා… මේ යකා මාර ඩයල් එකක් ! කොහොම හරි නරියා කොළේ වහලා මේ වලිසිංහගේ පුතා මාර සිංහ වනසිංහගේ දෝණිට සැට් කෙරුවා… වලිසිංහ මහ ඇමැතිතුමාත් නරියාගේ මේ යෝජනාවට උඩින්ම කැමැති වුණා !. මොකද තමන්ටත් වාතයත් වෙලා ඉන්න මේ පුත් කුමාරයා කොහාට හරි බන්දලා දුන්නාම වත් හැදෙයිද කියලා බලන්න නරියා ගෙනාපු මේ ප්‍රොපෝසල් එක තිතට පත්තු වුණා !… බ්‍රෝකර් ගාස්තු හැටියට සෑහෙන ගාණකුත් නරියාට ලැබුනා. ඒක එහෙම වුණත් නරියාට ඕනෑ කරලා තිබුණේ එදා දීපු පල් දෝරු ටෝක්ස් එකට මේ දූ කුමාරිකාවට ජීවිතේම විඳවන්න රිටන් එකක් දෙන්න. වැඩේ සැට් වුණා ! වනසිංහ මහ ඇමැතිගේ දූ කුමරිය යාබද ප්‍රදේශයේ මහ ඇමැති වලිසිංහගේ පුත් කුමාරයා සමග සරණ බන්ධනයට පැමිණියා. හෙහ් !හෙහ් ! හෙහ් ! ජාඩියට මඩිය වගේ දෙන්නා නියමෙට මැච් වෙනවා ! මනමාලයාගේ ඔළුව හොඳ නෑ කුඩු ගහලා !!! මනමාලිගේ කට හොඳ නෑ. ඩැඩී ගේ ලොකු කම අරගෙන!.

කොහොම හරි ඉතිං නරියා ගහපු ගේම තිතට වැඩ කෙරුවා ! කසාදයක් බැඳ ගත්තයි කියලා මේ මාරසිංහයා කුඩු ගැහිල්ලවත් මත්වතුර බීමවත් නැවැත්තුවේ නෑ. මොකද කියනවා නම් මූ ජීවත් වෙන්නේ කුඩු ගහන්නයි අරක්කු බොන්නයි හින්දා !!!

ටික දවසක් යනකොට කුඩු කාරයෙක්, බේබද්දෙක් එක්ක ජීවත් වෙන්න බෑ කියලා සිංහ දෝණිය මාරසිංහයාගෙන් වෙන් වෙන්න තීරණය කරලා අපහු මහ ගෙදරටම ආවා !

කසාදෙ අබිලික් වෙලා ගෙදර ආපු සිංහ දෝණිය දවසක් ගෙදර මිදුලේ ඉන්නවා දැකලා එතැනින් ගිය නරියා ගමන පොඩ්ඩක් බ්‍රේක් කළා ! ප්ලැට් වෙන්න වැදිලා ඉන්න සිංහ දෝණියගෙන් නරියා මෙහෙම ඇහුවා කොහොමද ගෞරවනීය සිංහ මැණිකේ… දැන්… සැ… ප…ද !!!

ගිනි අඟුරක් සේ කෝපාවිෂ්ඨ වී සිටි සිංහ දෝණිය හිස ඔසවා රිටන්ස් එකක් දෙන්න බලද්දී නරියා සෑහෙන දුරක් ගිහිං ඉවරයි !

ආදර්ශය : අප්පලාගේ පවර් එකෙන් හයි ෆයි දාන්න යන සිංහ දෝණියන්ට කුඩු කාරයන් මැරි කරන්නට සිදුවේ!.

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment