නාවික හමුදාව අල්ලා ගත් රුපියල් මිලියන 3798ක් වටිනා කිලෝ 263 ක මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා ගාලු වරායට ගෙනෙයි

382

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත්  රුපියල් මිලියන 3798ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 263 ක මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පෙරේදා( 13 දා)ගාල්ල වරායට ගෙන එනු ලැබීය.

ශ්‍රී ලංකාවට කිලෝමීටර 246ක් පමණ දුරින් දකුණු මුහුදු තීරයේදී පසුගිය 12 වැනි දින නාවික හමුදාව මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ බුද්ධි මෙහෙයුමකට අනුව  මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල්  ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රාරක්ෂක නෞකාව මගින්  මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් කළ බහුදින යාත්‍රාව සමඟ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර  එම බහු දින යාත්‍රාවට සහාය කරමින් පුද්ගලයන් 4 දෙනකු සමග එක් දින යාත්‍රාවක්ද ඒ සමග නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179 කුත් ග්‍රෑම් 906 ක් ද හෙරොයින් කිලෝග්‍රෑම් 83කුත්  ග්‍රෑම් 582ක්  නාවික හමුදා භාරයට ගෙන තිබේ.මෙම මත්ද්‍රව්‍ය තොගයේ දල වටිනාකම රුපියල් මිලියන 3798ක් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය උර 17ක් තුළ සඟවා තිබුණි .උර 4 පැකට් 76ක්ද තවත් දුර 13 ක පැකට්129  ලෙස ඒවා  දක්නට ලැබුණි.මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් බහු දින යාත්‍රාවේ සිටි පුද්ගලයන් ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව කියයි.මෙම පුද්ගලයන් සමඟ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට කටයුතු යොදා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment