නැන්දම්මාගේ ලක්ෂ 15 ක් සොරකම් කළ ලේලිය අත්අඩංගුවට

148

මුදලින් කොටසක් රැගෙන පලාගිය සැකකාරියගේ සහෝදරිය සහ පියා සොයා පොලිස් විමර්ශන

තම සැමියාගේ මව සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක මුදලක් සොරකම් කළ ලේලියක්, සොරකම් කරන ලද එම මුදලින් රුපියල් හයලක්ෂ තිස්දහසක් සමග පෙරේදා (28 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර වන්නියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියකි.

පැමිණිලිකාරියගේ පුතා හෙරොයින් මත්කුඩු තොගයක් සමග පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්ව දැනට බන්ධනාගාරගතව සිටින අතර ඇය තම දුව සහ පුතාගේ බිරිඳ සමග දෙමහල් නිවසක පදිංචිව සිටින බව පොලිසිය කියයි.

මෝටර් රථයක් විකුණා ලබාගත් රු. ලක්ෂ 10 ක මුදලක් සහ ශීතකරණයක් හා වායුසමීකරණයක් විකුණා ලබාගත් ලක්ෂ 5ක් ඇතුළු ලක්ෂ 15 ක මුදලක් නිවසේ අල්මාරියක සුරක්ෂිතව තබා තිබියදී සොරකම් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

පසුගියදා විශේෂ පොලිස් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ඇද්දැයි පරීක්ෂා කිරීමට එම නිවසට ගිය අවස්ථාවේ දී පැමිණිලිකාරිය පොලිසිය සමග කාමරයකට ගොස් පොලිස් නිලධාරීන් ඉදිරිපිට අල්මාරිය පෙන්වන අතරවාරයේ දී එහි තිබූ මුදල් පසුම්බිය විවෘත කරන අවස්ථාවේදී එම මුදල් සොරකම් කර ඇති බව පළමු වරට අනාවරණය වී ඇත. පසුව වැඩිදුර විමර්ශන සිදු කර සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සොරකම් කරන ලද එම මුදලින් හය ලක්ෂ තිස් දහසක් සැකකාරියගේ සහෝදරියක සතුව තිබී හමුවූ බවත්, ඉතිරි මුදල් සමග සැකකාරියගේ පියා ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලිසිය ප්‍රකාශ කළේය. සැකකාරියගේ සහෝදරිය සහ පියා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

සැකකාරිය ඊයේ (29 දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍ර.පො.ප. සේනක ප්‍රසන්න මහතාගේ මෙහෙය වීමෙන්, නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. වරුන් වන ගයාන් රාජකරුණා, වික්‍රමරත්න, උ.පො.පරීක්ෂිකා සංජීවනී, පො.සැ. ප්‍රියන්ත (37759), පො.කො. සුදර්ශන (86747), පො.සැ.රි. දයානන්ද (39646) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment