නැප්තා නෑ: කැලණිතිස්ස යළි නවතියි පාඩුව පැටව් ගහයි

106

කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි මෙගාවොට් 165 ක ද්විත්ව චක්‍රීය බලාගාරයට අවශ්‍ය නැප්තා ඇණවුම් නොකිරීම නිසා එය ඊයේ (12 වැනිදා) සිට යළි නතර කර දැමීමට සිදුව තිබේ.

මෙම බලාගාරය සඳහා දිනකට නැප්තා මෙටි්‍රක් ටොන් දසදහසක් අවශ්‍ය වන මුත් නිලධාරින් ඇණවුම් කර තිබී ඇත්තේ දින හතරකට සරිලන නැප්නා ලීටර් ලක්‍ෂ තිහක ප්‍රමාණයක් යැයි ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින’ට පැවසීය.

ඇමරිකානු ඩොලර් තිස්එක් ලක්‍ෂ පනස් දහසක මුදලක් වැයකර මෙය අලුත්වැඩියා කර ඉකුත් දින හතරකට පමණ පෙර එමගින් විදුලි ජනනය කර ජාතික පද්ධතියට එක්කර තිබු බවද ඒ මහතා කීය.

2019 ඔක්තෝබර් මාසයේ දී මෙම බලාගාරයේ ඇතිවූ දෝෂයක් නිසා දින 585 ක් එමගින් විදුලි ජනනය නතර කර තිබීමෙන් රුපියල් කෝටි 2150 (බිලියන 21.5) ක පාඩුවක් සිදු වූ බවට ඒ පිළිබඳ සෙවීමට පත්කළ කමිටු වාර්තාවේ සඳහන් බව ද ඒ මහතා පැවසීය. එම කාලයේ ඩීසල් මගින් විදුලිය ජනනය කළ නිසා මේ පාඩුව සිදුව ඇත.

කෙසේ වෙතත් ඊට පසුව ඇමරිකානු ඩොලර් මිලියන තුනක් (ලක්‍ෂ 30) වැයකර විදේශයකට යවා එහි කොටස් අලුත්වැඩියා කළ බවත් එය සවි කළ දිනයේම කැඩීගිය බවත් හෙතෙම පැවසීය. පසුව චීන ඉංජිනේරු කණ්ඩායමකට ඩොලර් එක්ලක්‍ෂ පනස් දහසක් ලබාදී යළි අලුත්වැඩියා කළත් 2022 වසරේ දී එමගින් විදුලිය ජනනය කළේ පැය 800 ක කාලයක් පමණි. මේ වනවිට එය නතරව ඇත්තේ නැප්තා නොමැති නිසාය. මෙමගින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 40 ට අඩු මුදලකි.

මෙම නැප්තා බලාගාරය නතර කිරීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ පාඩුවක් සිදුවන බව ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ‘දිවයින’ට කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment