2022 වසර වල අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරි ශ්‍රී ලාංකිකයන් ගණන දෙලක්ෂ පනස් දහසක්…

ඉකුත් ඔක්තෝබරයේ සිට ශ්‍රී ලංකාවේ සයිබ අපරාධකරුවන් පිළිබඳව ජාත්‍යන්තරය අවධියෙන්

වයස දහයත් විස්සත් අතර දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීම අසභ්‍ය දර්ශන නිර්මාණයට මග විවර කිරීමක්

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකදී වසර දහයේ සිට විස්සක් දක්වා දඬුවම් ලබා දිය හැකියි

වයස 16ට අඩු යි දරුවෙකු ට ගැබ් ගැනීමකදී ගබ්සා කිරීමට නීතියෙන් අවසරයක් නෑ.. දරුවන් ඒ වග දන්නෙත් නෑ

ශ්‍රී ලංකාවේ මේ වන විට සිටින වයස අවුරුදු දහයත් විස්සත් අතර දරුවන් කෝටියකට ආසන්න පිරිස (9987568-2021සංගණන වාර්තා) අතරින් සියයට අනූපහකටම ආසන්න පිරිසක් ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිවැරදි පුළුල් අවබෝධයක් හෝ දැනුමක් නොමැති පිරිස ය.

එහෙයින්ම ඒ අතරින් සමාජ විරෝධී පෞරුෂත්ව විෂමතා සහිත හෙවත් ඒ ඒ වයසට නොගැළපෙන හෝ තැනට නොගැළපෙන සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදෙන සියයට හයයි දශම හතකට (පොලිස් මූලස්ථාන දත්ත වාර්තා) ආසන්න පිරිසක් විසින් සිදු කරනු ලබන නොහොබිනා ක්‍රියාකාරකම් සමස්ත දරු පරපුරේම චරිතය ඝාතනය කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේය. එම තත්ත්වය මත එම දරුවන්ගේ අනාගතය අඳුරු අගාධයකට ඇද වැටෙන බව නොකියාම බැරිය.

ජංගම දුරකථන ඔස්සේ ඇබ්බැහි වීම

අද වන විට දරුවන් ට නැතිවම බැරි උපකරණයක් වන ජංගම දුරකථනය අතිශය දරුණු ලෙස ඔවුන් ගේ ළමා කාලය සොරා ගෙන ගොස් තිබේ. දරුවන් නරඹන ලිංගික දර්ශන ලිංගික සංසර්ගය සහිත වීඩියෝ නිතර නිතර නැරඹීමෙන් විකෘති මානසික තත්ත්වයන්ට ගොදුරුව ඇති මේ දරුවෝ ඒවා අත් විඳීමට පෙළඹෙති. විකෘති ලිංගික සබඳතා සබඳතාවකින් පමණක් අවසන් නොකර වීඩියෝ ගතකොට ක්ෂණික මුදල් ඉපැයීමේ ක්‍රමවේදයන්ටද එළඹෙන්නට ඇතැම් දරුවෝ කටයුතු කර තිබේ.

මේවාට උදාහරණ ඕනෑ තරම්ය. ස්පර්ශය අනුව මුදල තීරණය කිරීම පිළිබඳව සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය වූ අනුරාධපුර සිදුවීම, වයස අවුරුදු පහළොවක පාසල් දියණියක් සහ වයස අවුරුදු දාහතක පාසල් දරුවන් අතර කලක සිට පැවැති ලිංගික දර්ශන සහිත වීඩියෝ පට සකස් කරමින් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම බිය වැද්දීම නැවත නැවත ලිංගික කටයුතුවල යෙදවීම, ප්‍රේම සම්බන්ධතා ඇති පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල දරුවන් ලිංගික ක්‍රියාවලියෙහි යෙදෙමින් ඒවා පටිගත කරමින් වීඩියෝ දර්ශන විකිණීම වැනි වයසට නොහොබිනා කටයුතු රට පුරා කොතැනත් සිදුවෙයි.

වෙනසකට ඇත්තේ මේ ක්‍රියාවලින් අතරින් ප්‍රසිද්ධ වන්නේ ඇතැම් ඒවා පමණක් වීමය. සිද්ධ වන සිද්ධීන්ට නතුවන දරුවන් ට සමාජය තුළ දරුණු ලෙස ගැරහීමට ලක්වෙයි. එක් අතකින් එය අසාධාරණයකි. හේතුව ඔවුන් යහමගට ගැනීමට නම් ඔවුන්ගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් නොකොට සුදුසු දඬුවම් ලබාදෙමින් පුළුල් ලිංගික අධ්‍යාපනයක් ද ලබා දෙමින් තමන්ගේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කර දීමට කටයුතු කිරීමය.

ලිංගික අධ්‍යාපනය ගැන සමීක්ෂණයක්

මේ පිළිබඳව කරුණු විමසීමේදී මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සිදුකළ සමීක්ෂණ වාර්තාවක තොරතුරු අනාවරණය විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වෙනුවෙන් ඔහු සිදුකළ මෙම සමීක්ෂණයට පිරිමි ළමුන් 36 දෙනකු සහ ගැහැනු ළමුන් 36 දෙනකු සම්බන්ධ කරගෙන තිබේ. සිංහල ජාතික සිසුන් 30 ක් මුස්ලිම් ජාතික සිසුන් 30 ක් සහ දෙමළ ජාතික සිසුන් 12 ක් සම්බන්ධ කර ගෙන තිබිණි.

එහිදී දරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව පහත පරිදි ඒ ඒ කාරණාවන්ට දරුවන්ගේ ප්‍රතිචාර ලැබී තිබිණි.

ලිංගික සංසර්ගය ට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳව අවබෝධයක් නොමැති වයස අවුරුදු 14-16 ත් අතර පාසල් දරුවන් ප්‍රතිශතයක් ලෙස සියයට 97.3ක් බව එම සමීක්ෂණයේදී හෙළිව තිබේ.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකින් (වයස අවුරුදු 16 ට අඩු කාන්තාවක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම) පසුව සිදුවන ගැබ් ගැනීමක දී ගබ්සා කිරීමට මෙරට නීතියෙන් අවසරයක් නොමැති බව දැන සිට ඇත්තේ සියයට 20.8 බව ද අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් ස්ත්‍රියකට විවාහ විය හැකි අවම වයස අවුරුදු 12 ක් වන අතර කාතිවරයාගේ අනුමැතියට යටත්ව වයස අවුරුදු 12 ට අඩු ස්ත්‍රීන්ට ද විවාහ වීමට පුළුවන. මෙම තත්ත්වය පිළිබඳව නිවැරදි දැනුමක් තිබී ඇත්තේ දෙදෙනකුට පමණි. ඒ අනුව 97.3 කට මේ සම්බන්ධ දැනුමක් නොමැති බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

ව්‍යාවස්ථාපිත ස්ත්‍රී දූෂණයක දී ලබාදෙන දඬුවම අවුරුදු 10 සිට 20 දක්වා සිරදඬුවමක් වන අතර ඒ සම්බන්ධ දැනුම සියයට 58.3ක් සතුව තිබී ඇත.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක දී නෛතික කටයුතු කරා යොමු වීමට වින්දිත ස්ත්‍රියගේ කැමැත්ත අත්‍යවශ්‍ය නොවන අතර ඒ බව දැන සිට ඇත්තේ සමීක්ෂණයට එක් වූ පිරිසෙන් සියයට 34.7 කට පමණි.

බාල වයස්කාර දැරියක් ගැබ් ගත් අවස්ථාවක ගැබ විනාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ නීතියට අනුව නොහැකි බව දැන සිට ඇත්තේද මෙම පිරිසෙන් සියයට 20.8 කි.

ලිංගික චර්යාවන් සහ ඒ හා සම්බන්ධිත නීතිය පිළිබඳ දැනුම වැඩ කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බව මහනුවර කලාපයේ පාසල් සිසු සිසුවියන් 72 කට ප්‍රශ්න 50 ක් යොමුකර ලබාගත් පිළිතුරු විශ්ලේෂණය කිරීමේ දී තේරුම් ගිය ප්‍රමුඛතම කාරණය බව මතුවෙන් කිව යුතු නොවේ.

ළමා වියට ගැළපෙන අධ්‍යාපනයක්

ලංකාවේ ළමා හා කාන්තා අමාත්‍යාංශය ප්‍රමුඛත්වයලා ළමාරක්ෂණ අධිකාරිය යටතේ ළමයින් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් වුන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම පිණිස වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන වෙනම ආයතන රැසකුත් තිබේ. ඒ සියල්ල ඔස්සේ සිදුවන්නේ නිලධාරීවාදය හෝ වාර්ෂික අයවැයෙන් වෙන් කරන මුදල් යෙදවීමට බොරු ආටෝප සහිත උත්සව සංවිධානය කිරීම ය. මෙම ආයතන ව්‍යුහයේ කාර්යභාරය ප්‍රතිශතයක් ලෙසද ගතහොත් සියයට අනූඅටක්ම ඇත්තේ බොරු ආටෝප ය සාටෝප තවරාගත් සැලසුම් වාර්තා පොත් මිටිය. සියයට දෙකක පමණ රට පුරා ඇතැම් වැඩසටහන් විධිමත්ව සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. නමුත් ඉන් ලැබෙන ප්‍රතිඵලය සීමිතය. වෙනකක් තබා මෙම අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල හෝ මොන්ටිසෝරි වල හෝ පෙරපාසල් වල හෝ සිටින දරුවන්ට අකුරු ඉගැන්වීම වැළැක්වීමට පියවර ගැනීමට මේ වෙන තෙක් හැකි වී නැත. බලහත්කාරයෙන් අකුරක් ලිවීමට පෙළඹවීමේ සිට අවරට යන ළමා මනස පිලලයක් සේ සමාජයේ පැතිර යන ජංගම දුරකථන ඇබ්බැහි වීමෙන් තවදුරටත් විකෘති වීම පුදුමයක් නොවේ.

නියපොත්තෙන් කඩන්නට තිබූ වරදක් දැන් පොරවෙන් තබා ගන්න කියතෙන් වන් කපන්නට නොහැකි වී ඇති තැනට පත්ව ඇත.

අසභ්‍ය දර්ශනවලට ජාත්‍යන්තර පාලනයක්

මේ වන විට ජාත්‍යන්තරයේ ද අවධානය ලක්ව ඇත්තේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වන බාල වයස්කාර ළමා අපචාර විෂම ලිංගික තත්ත්වයන් උලුප්පා දක්වන අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හරින්නන් පමණක් නොව මඑවා නරඹන්නන් ද අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමේ වැඩපිළිවෙළ දියත් කිරීමටය.

ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමුකොට තිබේ පිළිබඳව කරුණු දක්වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයය.

සයිබර් අවකාශය ඔස්සේ දරුවන් නිතර නිතර අපයෝජනයට ලක්වන සිද්ධීන් වාර්තා වන විට ඒවා පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ජාත්‍යන්තර දත්ත පද්ධතියක් හා සම්බන්ධ වී වැඩ කිරීමට ළමා හා කාන්තා කාර්යාංශයට අවස්ථාව ලැබී තිබේ.

කිසියම් පුද්ගලයෙක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින්නේ නම් හෝ බෙදා හරින්නේ නම් සහ නිතර නිතර මෙවැනි වීඩියෝ පට න් අන්තර්ජාලය තුළ සැරිසරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ජාත්‍යන්තර දත්ත සැකසුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වී සිටිති. එය හඳුන්වනු ලබන්නේ “International Center for Missing and Exploited children” ලෙස ය.

ගූගල් ආයතනය හරහා විශේෂ අවධානයක් යොමු කරමින් කිසියම් රටක දරුවන්ගේ රුවත් ඡායාරූප හෝ ලිංගික දර්ශන සහිත වීඩියෝ පටන් කිසියම් පුද්ගලයෙකු විසින් මුදා හරින්නේ නම් හෝ බෙදාහරින්නේ නම් නැතහොත් නිතර නිතර නරඹන්නේ නම් ඒ පිළිබඳ ව අවධානය යොම කෙරෙනු ඇත. එපමණකදු නොව එම ආයතන මගින් අදාළ රටේ පවත්වාගෙන යනු ලබන තොරතුරු මධ්‍යස්ථානය වෙත එම තොරතුරු ලබාදීමට කටයුතු කරනු ඇත.

දත්ත පද්ධතිය හරහා අදාළ වින්දිත දරුවන් හෝ අපරාධකරුවන් පිළිබඳව සම්පූර්ණ තොරතුරද ලබාදීමට ඔවුහු කටයුතු කරති. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ගූගල් ආයතනයේ පවත්වාගෙන යනු ලබන දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථානය සමග සම්බන්ධව කටයුතු ආරම්භ කර තිබේ.

ලංකාවේ තත්ත්වය බරපතළයි..

ඒ අනුව මේ වන විට අනාවරණය කර ගත හැකි ශ්‍රී ලංකාවේ තත්ත්වය නම් 2022 වසර තුළ ශ්‍රී ලංකාව තුළදී අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීම අන්තර්ජාලයට මුදා හැරීම බෙදාහැරීම සහ නිතර නිතර මින් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සිද්ධීන් එක්ලක්ෂ හතළිස් හය දහසක් වාර්තා වී තිබේ. 2013 වසරේ මේ වන විට එලෙස වාර්තා වී ඇති සිද්ධීන් ගණනක් අනූ අට දහසකි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිද්ධීන් තුනක් පිළිබඳව දැඩි අවධානය යොමු කොට විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව බරපතළ සිද්ධියකට අදාළව වයස අවුරුදු 18ක ට පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමටද හැකියාව ලැබී ඇත.

අදාළ සැකකරු විසින් වයස අවුරුදු දහ හතරක් වන ඥාති දියණියකට වරින් වර අපයෝජනයට ලක් කරමින් වීඩියෝ පට සකසා ගූගල් ගිණුම ඔස්සේ දිගින් දිගටම වසර දෙකක් පුරාවට ම වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැර ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමටද හැකියාව ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදුකරන බවද අදාළව නීතිය ක්‍රියාත්මක කරන බවද දක්නට ලැබේ.

සෙසු සිද්ධීන් දෙක සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන අතර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පසු බිම මේ වනවිට සැකසෙමින් තිබේ.

ජාත්‍යන්තර මට්ටමින් හෝ මෙවැනි තත්ත්වයක් ඇතිවීම සුබදායකය. මන්ද මේ වනවිට නගරබද පමණක් නොව ග්‍රාමීය වශයෙන් ද දරුවන් අපයෝජනයට ලක්වීම සුලභව දක්නට ලැබෙන කාරණයක් වීමය.

රට පුරා පොලිස් වාර්තා අනුව දිනකට මෙවැනි සිද්ධීන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙයි. එය පසුකාලීනව රටේ සංවර්ධනයට කෙබඳු ලෙස බලපානු ඇද්ද යන්න සිහි බුද්ධියක් ඇති කාට වුවද වැටහෙනු ඇත.

එසේනම් අප සිදුකළ යුත්තේ කුමක්ද?

වයස අවුරුදු දහයත් වයස අවුරුදු විස්සත් අතර ළමා ජනගහනයට ඔබින පුළුල් ලිංගික අධ්‍යාපනයක් සහ නිරවුල් නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීමය. විභාග ප්‍රතිඵල එල්ල කරමින් දරුවන් සිරකොට තැබීමෙන් සිදුවන්නේ සිදුවීම් සඳහා තවදුරටත් මං පෙත් හෙළි කිරීමය.

ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය එච්. එම්. හේරත් මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“දරුවන් කියන්නේ රටේ අනාගතය. එය වාක්‍යයකට පමණක් ලඝු කොට ඔවුන්ගේ බුද්ධිය කාලෝචිතව වර්ධනය වීමට ඉඩ නොතබා ඒකාකාරී රටාවකට ගොනු කිරීමෙන් මෙවැනි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි.

ඕනෑම දරුවෙකුට ළදරු වියේ සිට තරුණ විය දක්වා ලබන අත්දැකීම් මතක් සාර්ථකත්වයට පත් වීම න්‍යායාත්මකයි. දෙමව්පියන් වශයෙන් තමන්ගේ දරුවා නිදහස් නිවැරදි මඟකට යොමු කිරීමට කටයුතු කළ යුතුයි. එසේ නොමැතිව නීති රාමුවකට හෝ නීති පද්ධතියකට යටත් කරමින් එක එල්ලේ විභාගය සඳහාම සූදානම් කිරීම තුළ දරුවෙකු නිසි කායික මානසික සංවර්ධනයට ලක්වන්නේ නැහැ. බොහෝ දරුවන්ට වැරදි ඇබ්බැහි වීම්වලට ලක්වන්නේ මෙතැන දී යි. මන්ද ඔවුන් සතුට වෙනුවෙන් වැරදි ආදේශවලට යොමුවීමට ලක්වීම වළක්වන්නට බැහැ. මේ වන විට ඊට හොඳම උදාහරණය ජංගම දුරකථනයයි. ජංගම දුරකථනයේ අන්තර්ජාල සබඳතාවන් සමඟ දරුවා අතරමං වී ඇති බවත් කායික වශයෙන් මානසික වශයෙන් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න බවක් නොමැති දරුවෙකු ලෙස සමාජගත වී ඇති බවත් පෙනෙන්නට තිබෙනවා.

දැන් දැන් සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන සිද්ධීන් සමග ගලපා බලන කල එහි ප්‍රතිඵල හොඳාකාරවම දක්නට ලැබෙනවා.

මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතුයි. ඒ සඳහා වැඩිහිටි පිරිස මැදිහත්ව දරුවන්ගේ ළමා කාලය නැවත ඇතිකර දිය යුතුයි එපමණක් නොව බෙහෙවින්ම දෙමව්පියන් දරුවන්ට ආදරය කළ යුතු යි….

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment