පානදුර නඩු ගබඩාවට වහලයෙන් පැන කෝටි 3ක කුඩු පන්නලා – වැඩ තහනම් කොස්තාපල් හා සගයා මාතලේදී අත්අඩංගුවට

200

පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් සොරාගන්නා ලද රුපියල් කෝටි 3 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් අලෙවි කිරීමට සූදානම් කර සඟවාගෙන සිටි වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයකු සහ අලෙවි නියෝජිතයකු ගම්පොල විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (25දා) උදේ මාතලේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ අයකු බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මීරිගම පොලිසියේ රාජකාරි කරමින් සිටියදී පොලිස් සැරයන්වරයකුගේ අල්මාරියක් කඩා එහි තිබූ වටිනා දේ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 18 වැනිදා වැඩ තහනමට ලක් විය.

මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වැඩ තහනමට ලක්වූ මෙම කොස්තාපල්වරයා ඔහුගේ සමීප මිතුරකු වන අලෙවි නියෝජිතයකු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව ද විමර්ශනවලදී හෙළි වී තිබිණි. මෙම අලෙවි නියෝජිතයා විවිධ භාණ්ඩ අලෙවි කිරීම තම රැකියාව ලෙස කරගෙන ගිය අයෙකි.

මේ අතර ඉකුත් 4 වැනිදා පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කඩා එහි තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් රැගෙන ගොස් තිබිණි. මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ.

ගම්පොල පොලිසියේ විශේෂ කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත මාතලේ ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂා කරද්දී සැකකාර වැඩ තහනමට ලක්වූ කොස්තාපල්වරයා සමග හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සැකකරුගේ සමීප මිතුරා වන අලෙවි නියෝජිතයා ද අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙරොයින් ජාවාරම පිළිබඳව කරුණු හෙළි විය.

තමන් පානදුර අධිකරණයේ වහලයෙන් බැස නඩු භාණ්ඩ ගබඩාව කඩා එහි තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සොරාගත් බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment