පාස්කු ප්‍රහාරය ගැන කියමින් බුද්ධි අංශයට පහර දී ‘කුලු‍නු තුන’ විනාශ කරන්න දෙන්න බෑ – ප්‍රසන්න රණතුංග

159

පාස්කු ප්‍රහාරය ගැන කියමින් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශවලට පහරදී විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විනාශ කිරීමට ඉඩදිය නොහැකි යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08දා) ප්‍රකාශ කළේය.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් මැතිසබයේදී ඊයේ ඇති වූ කතාබහක් අතරතුර අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසීය.

මේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට හා ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න වක්‍රාකාරයෙන් කටයුතු සිදුවෙනවා. පසුගිය කාලයේ දී විධායකය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති කරලා විධායකය එලවන්න කටයුතු කළා. වර්තමානයේදීත් විධායකයට පහර දෙනවා. ව්‍යවස්ථාදායකයෙත් 225ම එපා කියනවා. ඒ වගේම අද වෙනකොට අධිකරණය සම්බන්ධ විශ්වාසය නැති කරන්න යම් යම් මතවාද හදන්න සමහරු කටයුතු කරනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේක පිටුපස්සෙ ඉන්නෙ කවුද කියලා හොයලා බලන්න ඕන.

ඒ වගේම පාස්කු ත්‍රස්ත ප්‍රහාරය කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයකු අනුමත කරනවයි කියලා මම හිතන්නේ නැහැ. ඒ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අය වහන්න උත්සාහ ගන්නව කියල වත්මන් ජනාධිපතිවරයාට චෝදනා කරන්න සමහරු උත්සාහ ගන්නවා. ඒත් වර්තමාන ජනාධිපතිතුමා ඒ කාලේ ආරක්ෂක මණ්ඩල රැස්වීමටවත් කැඳවා නැති බව මුළු රටම දන්නවා. දැන් ඉන්න විපක්ෂනායක එදා ආණ්ඩුවෙ ඇමැතිවරයෙක්. මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසුව ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටුත් පත් කළා.

මම දන්නා තරමින් එෆ්.බී.අයි එක මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. ඒ වාර්තාව දීලා තිබුණා. අපේ රජය බලයට පත්වුණාම කාදිනල්තුමාගේ ඉල්ලීම අනුව තානාපතිතුමා හරහාත් ඉල්ලීමක් කළා ඒ වාර්තාව ලබාදෙන්න කියලා. ඒ වාර්තාව ලබා දීලාත් තිබෙනවා. ඒ වාර්තාව සභාගත කරන්න. ඒ වගේම ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කරන්න ඕනා. එෆ්.බී.අයි සංවිධානයට වඩා වැඩිදුර ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන්න අවශ්‍යනම් එය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපි කතා කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් කාට හෝ සැකයක් ඇත්නම් ඒ සැකය නැති කරන්න කටයුතු කළ යුතු බව මා විශ්වාස කරනවා. ඒ සඳහා පසුබිමක් සැකසිය යුතුයි. එහෙම නැතුව බුද්ධි අංශ, ආරක්ෂක අංශවලට පහරදීලා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විනාශ කරන්න දෙන්න බැහැ. එහෙම වුණොත් රටට වෙන්නේ මොකද්ද කියලා අපි කල්පනා කරන්න ඕන.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment