සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජයෙන් පරිත්‍යාගයක්

71

සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ “එමු” පක්ෂීන් තිදෙනකු සහ “රින් ටේල් ලීමර්” වඳුරන් සිව් දෙනකු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. මාස 04 ක් පමණ වයසැති මෙම “එමු” පක්ෂීන් ඕස්ටේ්‍රලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි පක්ෂීන් අතර දෙවන ස්ථානය ගන්නා පක්ෂි විශේෂයකි.

“රින් ටේල් ලීමර්” වඳුරන් මැඩගස්කරය නිජබිම කර ගත් ප්‍රදේශ වලට ආවේනික, වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති, සර්ව භක්ෂක සතුන් විශේෂයකි. අවුරුදු දෙකක් වයසැති පිරිමි ලීමර් වඳුරන් දෙදෙනකු සහ අවුරුදු 11 ක් වයසැති ගැහැනු ලීමර් වඳුරන් දෙදෙනෙකු මෙසේ එවා තිබුණි. මෙම සතුන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම සතුන් පින්නවල, වාගොල්ල සත්වෝද්‍යානයේ මාසයක කාලයක් නීරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව, එම සත්වෝද්‍යානයේම මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සතුන් භාර ගැනීම සඳහා පින්නවල, වාගොල්ල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මලිත් ලියනගේ සහ දෙහිවල සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී මේනක පතිරගේ ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment