පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් පැවති සියලුම පරීක්‍ෂණ අසාධාරණයි වැරදියි – හිටපු ජනපති මෛත්‍රී කියයි

101

එදා තේරීම් කාරක සභාවේ හිටියේ මගේ වෛරක්කාරයෝ

නව කාරක සභාවේ සභාපති ධුරය සජිත් විපක්‍ෂයට ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වන ලද සියලුම පරීක්ෂණ සම්පූර්ණයෙන් අසාධාරණ සහ වැරදි යැයි හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසීය.

එම ප්‍රහාරය පිළිබඳව බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා ප්‍රචාරය කරන ලද වැඩසටහන මගින් එල්ල කරන ලද චෝදනා විමර්ශනය කිරීමට අලුතින් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසි දෙනකු විසින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

එම තේරීම් කාරක සභාව ස්වාධීන සහ අපක්ෂපාතී යැයි තීරණය කර ඊට නියෝජනය ලබා දෙන්නේ එම සභාවේ සභාපතීත්වය විපක්ෂයටත් සභාවේ සංයුතිය සමසේ ආණ්ඩුවට සහ විපක්ෂයටත් ලබා දෙන්නේ නම් පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීම සම්බන්ධයෙන් මතු වූ සංවාදය මෙසේය.

විපක්ෂ නායක- මේ යෝජනාව ස්ථිර කරන්න පෙරයි නැගී සිටියේ. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා සාධාරණය උදෙසා වූ ජාතික කතෝලික කමිටුව විසින් ජනාධිපති වෙත ලිපියක් යවා තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සියයට 99ක්ම අවසන් කියපු කතාව මේ කතෝලික කමිටුව ප්‍රතික්ෂේප කරනවා. දැන් පත් කරන්න යන තේරීම් කාරක සභාව පිළිගන්නට නම් මෙහි සභාපතිත්වය නම් කරන්න විපක්ෂයේ අපට භාර දෙන්න. යෝජනා කරන කාරක සභාවේ සංයුතිය සම සමව ඇති කරන්න. එසේ නොමැති නම් අපිට මේකට සහභාගි වීමට හැකියාවක් නැහැ. කාදිනල්තුමන් ප්‍රමුඛ කතෝලික බිෂොප්තුමන්ලාගේ සහ පියතුමන්ලාගේ තීන්දුව මත තමයි අපි මේ සභාවට සහභාගි වනවාද නැද්ද කියා තීන්දු කරන්නේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා – ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක උපදේශක රොහාන් ගුණරත්න මහතා කියා තිබෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකුටවත් ලබා නොදුන් රහස්‍ය වාර්තාවක් ඔවුන් සතුව තිබෙනවා කියලා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිට ෆයිල් එකක් දීලා තිබෙනවා කාටවත් දෙන්න එපා කියලා. ඒ නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වපු සියලුම පරීක්ෂණ සම්පූර්ණයෙන් අසාධාරණ සහ වැරදි පරීක්ෂණ බව මම කියනවා. හේතුව ඒවායේ අංගසම්පූර්ණ වාර්තා නොමැති වීම. චැනල් ෆෝ වීඩියෝව ගැන තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව විපක්ෂනායකතුමා දරන මතයම තමයි මමත් දරන්නේ. පාර්ලිමේන්තුවේ මීට පෙරත් තේරීම් කාරක සභාවක් පත් කළා. ඒකේ හිටියේ මට විරුද්ධ වෛරක්කාරයෝ. ඒ තේරීම් කාරක සභාව සම්පූර්ණ අසාර්ථක වෛරයෙන් පළිගන්නා එකක්. දැන් පත් කරන්න යන සභාවට මන්ත්‍රීවරුන් නම් කිරීම කථානායකතුමා විසින් කළ යුතුයි. නැතුව එක එක පක්ෂවලට දෙන්න එපා. ඇතැම් පක්ෂවල නොයෙකුත් අසාධාරණ මත දරන අය ඉන්නවා. මා පිළිබඳව දැඩි වෛරයෙන්, ක්‍රෝධයෙන් කතා කරන කිහිප දෙනෙක් ඉන්නවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – චැනල් ෆෝ එකෙන් කියපු කාරණා 15ක්ම ජනාධිපති කොමිසමෙන් තහවුරු කර තිබෙනවා. ඒ නිසා ඒ චැනල් ෆෝ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න.

නිරෝෂන් පෙරේරා මහතා- මේ දාන්න යන සභාවෙන් අලුත් පාර්ලිමේන්තු හබයක් තමයි ජනතාවට පෙන්නන්න යන්නේ. ඒක අපිට පිළිගන්න බෑ. සමස්ත ජාතියම ඒකට විරුද්ධයි. මේ ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් මාර්ගයක් පෙන්නලා තිබෙනවා. ඒ පාර දිගේ යමු. මේ හදන්නේ අලුත් දේශපාලන කුමන්ත්‍රණයක් කරන්නයි.

කාවින්ද ජයවර්ධන මහතා- මේ රජය පොරොන්දු වුණා මේ ප්‍රහාරය ගැන සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. විවිධ කමිටු වාර්තා දැම්මා. ඒත් අපේ ජනතාවට තවමත් සාධාරණය ඉටුවෙලා නෑ.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා- චෝදනාවට ලක්වූ නිලධාරීන්ම දාලා මේ පරීක්ෂණ කරන්න යනවා නම් වැරදියි. අලුත් දක්ෂ නිලධාරීන් දාලා මේක කරන්න. නව පරීක්ෂණයක් මේ ගැන අවශ්‍යයි.

හෙක්ටර් අප්පුහාමි මහතා- මේ තේරීම් කාරක සභාවක් පත් කරන්න යන්නේ චෝදනාවට ලක්වුණු අයව හෝදලා නිවැරදි කරන්න. ඒ නිසා අප මේකට එකඟ නෑ.

රාජිත සේනාරත්න මහතා- මීට පෙර පැවති තේරීම් කාරක සභාවේ හිටියේ තමන්ගේ වෛරක්කාරයෝ කියලා හිටපු ජනාධිපතිතුමා කිව්වා. මමත් එහි සිටියා. හැබැයි මම නම් එතුමාගේ වෛරක්කාරයෙක් නොවෙයි. එදා අපි දෙන්නා තමයි එකට එළියට බැස්සේ. අනෙක අපි ඒ වාර්තාව එදා හැදුවේ සියලුම නිලධාරීන් දුන්නු කටඋත්තර අනුවයි. නැතුව අපේ මත කියලා නෑ. සරත් ෆොන්සේකා මහතා එතුමාගේ වෛරක්කාරයෙක් කියලා හිතනවා නම් අපි එදා වෙනම වාර්තාවක් විදිහටයි ෆොන්සේකා මහතාගේ වාර්තාව දැම්මේ. ඒ වාර්තාව අපි පිළිගත්තේත් නෑ. ඒ නිසා මම හිතන්නේ තවත් තේරීම් කාරක සභාවක් අවශ්‍ය නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment