භික්ෂුව නිර්මාණ ක්‍ෂේත්‍රයට පිවිසිය යුත්තේ ඇයි?

109

ගොඩඋඩ අරියධම්ම නාහිමියන්ගේ මේ කෙටිකතා එකතුව මා අතට පත්වූ වෙලාවේ මා සිතතුළ පැන නැඟුණු සිතිවිල්ලකින් මේ විචාරය පටන්ගත යුතුයැයි මම සිතුවෙමි. මේ පොත මා නෙත ගැටුණු වෙලෙහි මා සිත ඇතිවූයේ නො මඳ සතුටකි. මාතුළ ඇතිවූ ඒ සතුටට හේතුව කුමක් ද?

ගොඩඋඩ අරියධම්ම නාහිමියන් සාහිත්‍ය නිර්මාණයට සම්ප්‍රාප්තවීමේ ව්‍යායාමය මා දකින්නේ වත්මන් සාහිත්‍ය ක්‍ෂේත්‍රයට අවශ්‍ය ව ඇති ප්‍රතිකර්මයක ආරම්භයක් ලෙසයි. එය අප විසින් දැන ගතයුතු වෙයි. අපගේ පැරණි සාහිත්‍යය මුළුමනින් ම වාගේ නිර්මාණය කර ඇත්තේ ඒ යුගයේ විසූ ව්‍යක්ත ධර්මධර සංඝයා වහන්සේ විසිනි. එහි දී උන්වහන්සේ අතින් සිදු වූ ප්‍රධාන සේවය නම් අපගේ බෞද්ධ සභ්‍යත්වය මුල් කරගත් ආකල්ප, ඇගයීම්, පුරුෂාර්ථ ඒ නිර්මාණ මඟින් සමාජයේ ජනතාව වෙත ගෙනයෑමයි. කොටින් කියතොත් ඒ නිර්මාණ අපගේ සභ්‍යත්ව විඥානය, යුගයෙන් යුගයට ඉදිරියට ගෙනයන වාහකයක් විය.

එහිදී උන්වහන්සේ ඒ කටයුත්ත කරන ලද්දේ සුචරිතවාදී පටු මනසකින් නොවේ. පෘථග්ජනයන්ගේ ගිහි ජීවිත අවමාන කර හෝ නිඟාවට ලක් කරමින් හෝ නො වේ. කාමභෝගී ගිහි ජීවිතයේ විවිධ පැතිකඩ සිය නිර්මාණ සඳහා යොදා ගැනීමට උන්වහන්සේ පසුබට නො වූහ. ස්ත්‍රී පුරුෂ සංසර්ගය පවා නිරූපණය කිරීමට තොටගමුවේ රහල් හිමියන් තැත් කළ සැටි කාව්‍යශේකරයේ ඇති සම්භෝග වර්ණනාව පෙන්නුම් කරයි. එහෙත් ඒවා ඇතුළු කරන ලද්දේ කාමෝත්දීපණය සඳහා නො වේ. ඒවා පිටුපසින් වූයේ අපගේ බෞද්ධ සභ්‍යත්ව විඥානයයි. ඒවා ඒ සභ්‍යත්ව විඥානය විසින් හසුරුවන ලද නිර්මාණ විය.

මේ සභ්‍යත්ව විඥානයෙන් අද නිර්මාණකරුවන් ඈත් වූයේ බටහිර සභ්‍යත්වය ඈඳා ගැනීම සමඟයි. බටහිර සිදු වූ කාර්මික විප්ලවයෙන් පසු බිහි වූ කාමසුඛල්ලිකානු සභ්‍යත්වය විශ්ව සභ්‍යත්වයක්ය යන මිථ්‍යාව හිසින් ගත් නිර්මාණකරුවෝ අපට උරුම සභ්‍යත්ව විඥානය අවඥාවෙන් බැහැර කළහ. ඊට ඇති හොඳම උදාහරණය පසුගිය කාලේ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ ආධිපත්‍ය දැරූ පේරාදෙණි සාහිත්‍යයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූයේ මේ කාරණාව උඩයි. එතුමා විසින් ඒ සාහිත්‍යය හඳුන්වන ලද්දේ අපගේ සභ්‍යත්වයෙන් වියෝ වුණු අඳ බාලයන්ගේ නිර්මාණ ලෙසයි.

අපගේ සභ්‍යත්ව විඥානයෙන් වියෝ වූ නිර්මාණ අද වනවිට සාහිත්‍ය ක්‍ෂේත්‍රය ඉක්මවා මුළු කලා ක්‍ෂේත්‍රය වෙලාගෙන ඇති සැටි කිවමනා නොවේ. අද ටෙලිවිෂන් මගින් පෙන්වනු ලබන දේවල් ඊට ඇති හොඳ ම නිදසුන් නො වේ ද? ඒවා මුළුමනින් ම පාහේ කාමාතුරයන්ගේ අසැබි චරියාව මුල් කරගත් නිර්මාණ නො වේ ද? පෙර පැවති හද සනසන ගීත පවා කය නලියවන වාජීකරණයක් බවට පත් වී තිබේ. අපේ ගැමි නැටුම් අද කෙල්ලන්ගේ බුරිය පෙන්වන නිරුවත් සන්දර්ශනයක් බවට පත්වී තිබේ.

මෙය වහා පිළියම් කළයුතු භයානක තත්ත්වයක් බව මගේ හැඟීමයි. අපගේ සභ්‍යත්වය විනාශ වීම යනු අපගේ ජාතියේ පැවැත්මේ අවසානය බව අප විසින් වටහා ගතයුතුයි. මීට මා දන්නා ප්‍රධාන ප්‍රතිකර්මය ගිලිහී යමින් පවතින අපගේ සභ්‍යත්ව විඥානය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. ඒ කාර්යට මූලික වියයුත්තේ අපගේ සංඝ සමාජයයි. මා ඉහතින් පෙන්වා දුන් අයුරු එය උන්වහන්සේ විසින් දෙදහස් වසරක් තුළ ඉටු කරන ලද කාර්ය වෙයි. උන්වහන්සේ සාහිත්‍යකරණයේ යෙදුණේ මේ පරමාර්ථය මුල් කර ගෙනයි. දැන් ඒ පරමාර්ථය ඉටු කිරීම අත්‍යවශ්‍ය ව තිබේ.

භික්ෂුව නිර්මාණ ක්‍ෂේත්‍රයට පිවිසිය යුත්තේ ඇයි?

මගේ මේ නිගමනය උඩයි, අරියධම්ම නාහිමියන් නිර්මාණ සාහිත්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීම යුගයේ අවශ්‍යතාවක් ඉටු කිරීමක් බව දැක්වූයේ. උන්වහන්සේ නිර්මාණය කර ඇති මේ කෙටිකතා තුළින් උන්වහන්සේ සවිඥානිකව ඒ කාර්ය ඉටු කිරීමට තැත් කර ඇති බව මගේ වැටහීමයි.

මේ කෙටිකතා අතුරින් මා මනස බැඳගත් නිරුවත නැමති කතාව මගේ නිගමනය සනාථ කරන්නේ නොවේ ද? එහි ඉන්නා සුගන්ධි එකිනෙකට වෙනස් මනසකින් හැසිරෙන තැනැත්තියකි. ඒ දෙබිඩි මනස අද මුහුණ දෙන සංස්කෘතික ගැටුම පිළිබිඹු කරන්නේ නොවේ ද? දිය නාන්න යන සුගන්ධිගේ දිය රෙද්ද කඩා වැටේ. ඇය මොහොතකට නිරුවත් වෙයි. ඇගේ මිතුරකු වන සුමිත් ඇගේ නිරුවත දුටු බව දනී. ඇය මහත් සේ කැළඹිල්ලට පත්වෙයි. පාරම්පරික සංස්කෘතියෙන් ලද විළි බියෙන් මඬනා ලද ඇය දස අතේ කල්පනා කරයි. සුමිත් එය සිය යහළුවන් සමඟ පවසාවියි කියා ඇයට පාර තොටේ යෑමටත් බියක් ඇතිකර ගනී. ටික දවසකින් ඒ බිය පහව යයි. ඉන් පසු සුගන්ධි ඒ සිද්ධිය දෙස බලන්නේ කලින්ට වඩා වෙනස් අයුරකිනි. සිය නිරුවත දැකීම නිසා සුමිත් ඈ වෙත ආකර්ෂණය වී ඇතැයි කියාය.

“සුමිත් මගේ නිරුවත් සිරුර දැකලා මට ළැදියාවක් ඇතිකර ගන්න පුළුවන්” කියා ඇය කණ්ණාඩිය ඉස්සරහට ගොස් සිය නිරුවත් සිරුර දෙස බලා උද්දාමයට පත්වෙයි. මෙය අද වත්මන් බටහිර සංස්කෘතියට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් නො වේ ද?

“සළු ඇඳ බොළට දක්වා” යන ආප්තය උඩ ඇතිදැඩි වූ අපේ තරුණිය අද පිට නැති හැට්ටය ඇඳ, නිරුවත ප්‍රදර්ශනය කරන්නට මිනිගවුම ඇඳ දෙවටොර ප්‍රදර්ශනය කරන්නේ එයින් තරුණයකු ආකර්ෂණය කරගන්නට හැකිය යන සිතුවිල්ලට දැන හෝ නො දැන ගොදුරු වීම නිසා නොවේ ද?

අරියධම්ම නාහිමියන් අපේ සමාජ විඥානය හෙළි කරන නිර්මාණයක් වශයෙන් මීයාගේ පණ කෙටිකතාව දැක්විය හැකිය. සාමෙල් ගවයන් ඝාතනය කර මස් කරන්නෙකි. එය ඔහුගේ රැකියාව වෙයි. ඒ සුදුසුකම උඩ පසුව ඔහු අලුගෝසුවෙක් වෙයි. දරුවන් හය දෙනකු ඉන්න ඔහු අඹුදරුවන් පෝෂණය කරන්නේ ඝාතන රැකියාව මඟිනි. එහෙත් ඔහු හද තුළ අනුකම්පාව ඇති කෙනකු බව කියවෙයි. සාමෙල් දිනක් ගංවතුරෙන් පිරුණු වැව බලන්නට ගොස් මහත් දිය කඳට හසුවුණු මීයකු කොන්ක්‍රීට් බැම්මේ එල්ලී යන්තම් බේරී ඉන්නා අයුරු දකී. සාමෙල් අසල ගෙයකින් ලීයක් හා කුඩා වට්ටියක් සොයාගෙන ඌ බේරා ගැනීමට උත්සාහ කරයි. අන්තිමේදී ඔහු වැවට වැටී මියයයි.

ඔහු රැකියාව සඳහා සත්ව ඝාතනය කළත් පින පව සම්බන්ධව සවිඥානකය. වෙරළ බඩ ජීවත් වෙමින් සිටින ධීවරයන් මසුන් ඇල්ලීම ප්‍රාණ ඝාතයක් ලෙස නො සලකන බව පෙනේ. මෙයින් ගම්‍ය වන්නේ කුමක් ද? බුදු දහම උගන්වන ප්‍රඥාවන්ත බෞද්ධ සභ්‍යත්වය හා වොහාරික ප්‍රායෝගිකත්වය එකක් නොව දෙකක් බව නො වේ ද?

මා සිත් ගත් තවත් කෙටිතාවකි ගොඩේ ඉස්කෝලේ මහත්තයා. ජාතික ඇඳුම අඳින, බුලත්විට හපන ගොඩේ ඉස්කොලේ මහත්තයා ඉතා දක්ෂ ගුරුවරයෙකි. විද්‍යා විෂය හා ඉංග්‍රීසි විෂය ඉගැන්වීමෙන් ළමයින්ගේ සිත් දිනා ගනී. ඒ විෂයන් භාර ගුරුවරියන් ඔහුට ඇනුම්පද කියමින් අවමන් කරන හැටි පැහැදිලිය. ගැමියකු ලෙස හැසිරෙන ඔහු ගේ හැසිරීම අව`ඥාවට ලක් කරමින් බටහිර සංස්කෘතිය උසස් ලෙස දක්වන්ට යන ගුරුවරියන් දෙදෙනාට අධ්‍යාපන අධ්‍යක්ෂක හොඳ පාඩමක් කියා දෙයි.

මේ කෘතියේ ඇති කෙටි කතා මඟින් පෙන්නුම් කරන්නේ අරියධම්ම නාහිමියන්ගේ සාහිත්‍ය නිර්මාණ සඳහා අවශ්‍ය වාසනා ගුණයෙන් මෙන් ම ඒ සඳහා අවශ්‍ය සභ්‍යත්ව විඥානයෙන් යුක්ත නිර්මාණකරණය සතු බවයි. එම වාසනා ගුණය ඵලදැරීමට නම් උන්වහන්සේට තවත් දිගු ගමනක් වෙත පිවිසිය යුතු බව මගේ හැඟීමයි.

● ආචාර්ය ගුණදාස අමරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment