මංජුලා කුමාරිවත් රවටා මැණික් ගලකට ගේමක් ගහන්න හැදූ සහය නළුවෙක්….

872

පෙනී සිට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙසින්…
සමහර පොලිස් නිලධාරීනුත් සැලියුට් ගහලා…..

ඕලු ටෙලි නාට්‍යය තුළින් රසික රසිකාවියන්ගේ හදවත් සොරා ගත් මංජුලා කුමාරි මෙරට ජනප්‍රිය නිළියකි. ඕලු ටෙලි නාට්‍යයේ චරිතය නිසාම ඇයගේ රංගනයට ආදරය කළ පිරිස් බොහෝය. තවමත් ඕලු ලෙසින්ම ජනප්‍රිය ඇය එම ක්ෂේත්‍රය තුළ සිටින අහිංසක නිළියක් ලෙසද රසික රසිකාවියන්ගේ හදවත් තුළ ලැගුම් ගෙන තිබේ. එම නිසා ඇය පිළිබඳ අමුතුවෙන් කිසිවක් පැවසීමට අවශ්‍ය නැත. එ මන්ද යත් මංජුලා කුමාරි නොහොත් ඕලු රටම දන්නා චරිතයක් බවට පත්වී හමාර නිසාය.

වර්තමානය වන විට රංගනයට නොව තම පවුල් ජීවිතයට ප්‍රමුඛස්ථානය ලබාදී ආගමට දහමට ළැදිව ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ඇය ගත කරයි. ඒ අතර තුර සැමියාගේ ව්‍යාපාර කටයුතුවලටද ඇය උපරිම සහයෝගයක් ලබා දෙයි. එපමණක් නොව මෙරට අහිංසක දුප්පත් ජනතාව කේන්ද්‍ර කරගනිමින් තම පෞද්ගලික ධනය පවා වියදම් කර ඇය සමාජ සුබසාධන කටයුතු රැසක් සිදු කරයි. ඒ ඉතාමත් අප්‍රසිද්ධියේය. අඩුම තරමේ තම ෆේස්බුක් ගිණුම තුළවත් ඇය ඒ පිළිබඳ සටහනක් හෝ පින්තූරයක්වත් පළ කරන්නේ නැත. එතරම්ම ඇය නිහතමානී චරිතයකි.

අන් අයටත් ආදර්ශයක් වෙමින් එවැනි ජීවිතයක් ගත කරන ඇයට පසුගියදා නොසිතූ කරදරයකට මුහුණ දීමට සිදුවිය. ඒ ඔවුන්ගේ පතල් කර්මාන්තයට සම්බන්ධව සේවය කළ පුද්ගලයකු නිසාය. එම සිද්ධිය සැකවින් මෙසේය.

වාරියපොළ මිනුවන්ගැටේ පදිංචි ගුණරත්න බංඩාරව මංජුලා කුමාරිගේ ස්වාමිපුරුෂයා දැන හඳුන ගන්නේ දැනට වසර දහයකට පමණ ඉහතදීය. ඒ දැන හැඳින ගැනීම කලක් යද්දී මිතුරුකමක් බවට පත්විය. ගුණරත්න ඔවුන්ට පවසා තිබුණේ තමා උසස් පොලිස් නිලධාරියකු බවත් දැනට වැඩ තහනමකට ලක්වී ඇති බවයි. ඔවුන්ද එය විශ්වාස කළේය.

ගුණරත්න යනු පොලිස් නිලධාරියෙකු නොව ඉතා සටකපට පුද්ගලයෙකි. එමෙන්ම ඔහු දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි. කලක් තරුණ සේවා සභාවේ වොලිබෝල් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් ලෙසද ඔහු කටයුතු කළේය. එම කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමේ ආශාවක්ද ඔහුගේ සිත තුළ තිබුණි. එහෙත් දෛවයේ සරදමකට මෙන් ඔහුට එය කළ නොහැකි විය. අවසානයේ ඔහු විදෙස් ගතවිය.

වසර ගණනක් විදෙස් රටක රැකියාව කළ ඔහු යළි මෙරටට පැමිණියේය. එලෙස පැමිණ කලකට පසු ඔහුට රඟපෑමේ අවස්ථාවක් උදාවිය. ඒ ටෙලි නාට්‍යයක සුළු චරිතයකටයි. එහිදී ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස එම චරිතය රඟපෑවේය. ඒ අතරතුර තවත් නාට්‍ය කීහිපයක සුළු චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහුට උදාවිය. ඒ සියලුම චරිතවල ඔහු රඟපෑවේ පොලිස් නිලධාරියකු ලෙසින්ය. එලෙස ටෙලි නාට්‍යවල සුළු පොලිස් චරිත රඟපෑ පසු සැබෑ ජීවිතයේද පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටීමට මොහුට අවශ්‍ය විය. කොටින්ම කියතොත් ඔහුට පොලිස් උණක් වැළඳී තිබුණි. එමනිසා ඔහු කිසිදු බියක් සැකක් නොමැතිව සමාජය ඉදිරියේ පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටියේය. එලෙස පෙනී සිටිමින් ලාභ ප්‍රයෝජන ගැනීමටද උත්සාහ කළේය.

මාස තුනකට පමණ ඉහත එක් දිනක් මංජුලා කුමාරිගේ ස්වාමිපුරුෂයාට ඔහු මෙලෙස පැවසුවේය.

“දන්නවද වැඩක්. මට ආයි පත්වීම ලැබුණා. මොකද මම වරදක් කරපු කෙනෙක් නොවෙයිනේ. මේපාර පත්වීම ලැබුණේ උසස්වීමක් එක්ක. මම දැන් වව්නියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්.”

මංජුලා කුමාරිවත් රවටා මැණික් ගලකට ගේමක් ගහන්න හැදූ සහය නළුවෙක්….

එය සත්‍යක් බව සිතූ මංජුලා කුමාරිගේ ස්වාමිපුරුෂයා “ඇත්තටම සතුටුයි” යනුවෙන් පවසා ඔහුට හදවතින්ම සුබ පැතුවේය.

ලග්ගල දේවාදෙනිය ප්‍රදේශයේ ශාන්ති නමැති කාන්තාවක් සමඟ මංජුලා කුමාරි පතල් කැණීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කර තිබුණි. ඒ පතල් කටයුතුද ඔවුන්ගේ ව්‍යාපාර වලට අයිති එකක් නිසාය. වසර ගණනක සිට එම ක්ෂේත්‍රයේ ඔවුන් නියැළී තිබුණි.

ලග්ගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පතල් කටයුතු සඳහා වැඩ පරීක්ෂකවරයකු අවශ්‍ය වී තිබුණි. ඒ බව මංජුලා කුමාරිගේ ස්වාමිපුරුෂයා ගුණරත්නටද පැවසුවේය. එහිදී ගුණරත්න පැවසුවේ තමන් ඒ සඳහා කැමති බවයි. ඒ අනුව එම පතල්වල වැඩ කටයුතු බලා ගැනීම සඳහා ගුණරත්නව පත් කළේය.

වව්නියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තමන් බව පවසමින් ගුණරත්න ලග්ගලට පැමිණියේය. ඒ පතල් කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහාය. කල් නොයත්ම පතල් සේවකයන් මෙන්ම ලග්ගල ප්‍රදේශයේ සමහර ජනතාවද මොහුගේ පොලිස් නිලධාරී තනතුරට රැවටුනේය. එපමණක් නොව ලග්ගල නගරය තුළ රථවාහන රාජකාරිවල නියැළී සිටින සමහර පොලිස් නිලධාරීන්ට ද මොහු පැවසුවේ තමන් වව්නියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බවයි. එම නිසා එම නිලධාරීන් දුටු තැන මොහුට ආචාර කිරීමට පවා පුරුදු විය.

කිසිදු බියක් සැකක් නොමැතිව ගුණරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ චරිතයට පණ පෙව්වේය. ඒ හරහා ඔහු විශාල වශයෙන් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ කළේය. රථවාහන වැරදි සිදු කළ තම මිතුරන් පවා පොලිස් නිලධාරීන්ට කතාකර තමා අහවල් නිලධාරියා යැයි පවසා බේරා ගත්තේය. වරක් පතලක සිදු වූ ආරවුලක් මත මෙම පුද්ගලයාව පොලිසියට කැඳවා තිබුණි. එහිදී ඔහු එම පොලිසියේ ස්ථානාධිපතිවරයාටද තමා වව්නියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව පවසමින් සිද්ධිය සමථයකට පත් කර ගත්තේය.

මාස කීපයක් එලෙස ගත වෙද්දී ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතාට මෙම පුද්ගලයා පිළිබඳව දැනගන්නට ලැබුණි. එමනිසා ඉතා සූක්ෂම ලෙස ඔහු ගැන සොයා බලන ලෙස තම බුද්ධි අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව එම පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කළේය.

කාලය එලෙස ගතවෙමින් තිබුණි. දිනය පසුගිය විසි දෙවැනි දාය. එදින එම පතලේ කැණීම් කටයුතුවලදී මැණික් ගල් දෙකක් සොයා ගැනීමට හැකිවිය. ඒ නිල් පාට සහ සුදු පාට මැණික් ගල් දෙකක්ය. ඒ අතරින් වැඩි වටිනාකමක් හිමි වූයේ නිල්පාට මැණික් ගලටයි.

නිල්පාට මැණික දුටු ගුණරත්නට එය තමන් සතු කර ගැනීමේ ආශාවක් පහළ විය. ඒ අනුව හොර රහසේම ඔහු එම මැණික් ගල රැගෙන යෑමට උත්සාහ කළේය. පතලේ හවුල්කාරිණියක් වූ ශාන්තිට මේ පිළිබඳව දැනගන්න ලැබුණි. ඇය වහාම පතල් කැණීම් සිදු කරන ස්ථානයට පැමිණියාය.

එලෙස ඇය පැමිණෙන විට ගුණරත්න එම ස්ථානයෙන් පිටවී යෑමට සූදානම් වූවාය. එහිදී ඇය නිල් පාට මැණික් ගල පිළිබඳව ඔහුගෙන් විමසුවාය. එහිදී ඔහු පැවසුවේ එය තමන් සන්තකයේ ඇති බවත් තමන් එය රැගෙන යන බවත්ය. එහෙත් ඇය එයට විරුද්ධ වී පැවසුවේ

“මැණික් පතලේ හිමිකරුවන් වන්නේ තමන් සහ මංජුලා කුමාරි නිසා එම මැණික් ගලේ අයිතිය ඇත්තේ තමන් දෙදෙනාට නිසා වහාම මැණික් ගල තමන් වෙත ලබා දෙන ලෙසයි.”

එහෙත් ගුණරත්න එයට අකැමැති විය. ඔහුට වුවමනා වූයේ කෙලෙස හෝ මැණික් ගල රැගෙන එම ස්ථානයෙන් මරු වීමටයි. එමනිසා එම කාන්තාවට තර්ජනය කර ඔහු පවසා සිටියේ කිසිසේත් මැණික් ගල ලබා නොදෙන බවත් තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බව අමතක නොකරන ලෙසත්ය.

කාන්තාව ඉන් සැලුණේ නැත. ඇය යළි යළිත් කරුණු පහදා දෙමින් ඔහුගෙන් මැණික් ගල ඉල්ලා සිටියාය. එහෙත් ගුණරත්න මැණික් ගල ලබාදීම ප්‍රතික්ෂේප කර තම වාහනයට නැඟ පලා යෑමට උත්සාහ කළේය. ඒ සමඟම කාන්තාව

මංජුලා කුමාරිවත් රවටා මැණික් ගලකට ගේමක් ගහන්න හැදූ සහය නළුවෙක්….

ගම්වාසීන්ගේ උදව් ඇතිව ඔහුට පලායෑමට ඉඩ ලබාදුන්නේ නැත. ඒ සමගම ඇය ලග්ගල පොලිසියට ද මේ පිළිබඳව දැනුම් දුන්නාය. ඇයගේ දැනුම්දීමට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සැකකාර ගුණරත්නව, මැණික් ගල සහ ඔහුගේ වටිනා මෝටර් රථයද පොලිස් භාරයට ගත්තේය.

පසුව සිදුකළ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේදී ගුණරත්න තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් නොවන බවත් එලෙස රඟපාමින් සිදු කළ සියලු කරුණු පිළිබඳව එම නිලධාරීන් ඉදිරියේ අනාවරණය කළේය.

එහිදී අනාවරණය වූයේ ඔහු මීට පෙර ද ව්‍යාජ පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බවයි. ඒ පිළිබඳව කුරුණෑගල සහ වාරියපොළ පොලිසිවල ඔහුට විරුද්ධව පැමිණිලි සහ අධිකරණවල නඩු ක්‍රියාත්මක වෙමින් පවතී.

අත්අඩංගුවට ගත් සැකකරු, වාහනය සහ නිල් මැණික් ගල ලග්ගල පොලිසිය මගින් නාඋල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ජනප්‍රිය නිළි මංජුලා කුමාරිගෙන් මෙම සිද්ධිය පිළිබඳව විමසීමේදී ඇය පැවසුවේ මෙවන් දෙයකි.

“ඇත්තටම මේ පුද්ගලයාව මම අඳුර ගත්තේ මගේ ස්වාමි පුරුෂයාගේ මාර්ගයෙන්. එහෙත් එයා අපේ ළඟ හිතවතෙක් නොවෙයි. සේවකයෙක් විතරයි. එයා අපිට තමන් පොලිස් නිලධාරියකු බව පැවසුවා. ඇත්තටම අපි ඒක පිළිගත්තා. මොකද ඒකට හේතුවකුත් තිබුණා. අපි දැකලා තියනවා සමහර අවස්ථාවලදී නිල ඇඳුම් ඇඳගත්ත පොලිස් නිලධාරීන් පවා එයාට ආචාර කරනවා.”

“අපේ ව්‍යාපාර වල එක අංශයක් තමයි පතල් කැණීම්. ලග්ගල ප්‍රදේශයේ තිබූ පතලක තමයි මෙයා සේවය කළේ. එහෙදි තමයි මෙම සිද්ධිය ඇතිවෙලා තියෙන්නේ. එතකොටයි අපි දන්නේ මෙයා පොලිස් නිලධාරියෙක් කියලා තියෙන්නේ බොරුවට කියලා. අපි ළඟ රැකියාව කළාට එයාගෙ ඉතිහාසය හොයලා බලන්න අපි ගියේ නැහැ.”

“මේ සිද්ධිය එක්ක සමහරු මට මඩ ගහන්න උත්සාහ කරනවා. ඒත් මම ඒවායෙන් සැලෙන්නේ නැහැ. ඇත්තටම මෙතන අපේ වරදක් නැහැ. ඒක ඕන කෙනෙකුට පේනවා. අනික මම කාටවත් කරදරයක් නැතුව ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා මගේ ස්වාමිපුරුෂයාට, ළමයින්ට පවුලේ අයට, සමාජයට සහ මගේ ක්ෂේත්‍රයට සහ ඒ සම්බන්ධ අයට අද වනතුරු කිසිම වරදක් මගේ අතින් සිදු වෙලා නැහැ. ඒ මොකද මම ජීවත් වෙන්නේ කිසිම කෙනෙකුට මොනයම් හේතුවක් මතවත් කරදරයක් නොවන විදිහටයි. ඒකට ප්‍රධානම හේතුව මම බෞද්ධ කාන්තාවක්. ඒ නිසා මම කටයුතු කරන්නේ ආගමට දහමට ළැදිවයි.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරැද්ධ බණ්ඩාරනායක මහතාගේ මගපෙන්වීම යටතේ ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර, පොලිස් සැරයන් කරුණාසේන (28130) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment