අරගලයේ පිරිසට පහරදුන් අරලියගහ මන්දිරයේ මැරයන් තවම අත්අඩංගුවට ගෙන නැහැ – ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

112

ගෝල්ෆෙස් ප්‍රහාරයට වගකිවයුතු අරලියගහ මන්දිරයේ මැරයන් අත්අඩංගුවට නොගෙන පරීක්ෂණයන්ට මුවාවී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (16 වැනිදා) පැවසීය.

එකී ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධව දවස් හතක් යන තුරු එක් අයෙක් අත්අඩංගුවට ගන්නා අතරේ ඊට පසු සිදුවීම්වලට 230ක් අත්අඩංගුවට ගෙන තිබීම තුළ ඒ බව මනාව පැහැදිලි වන බවත් සඳහන් කළ විජිත හේරත් මහතා වහා සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා මෙන් රජයට අවධාරණය කර කියා සිටියේය. මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යෙදවූ මැර කණ්ඩායම ගෝල්ෆෙස් පිටියට ඇතුළුවීමට ඉඩදීමම වරදක්. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධරීන් එතන හිටියා. මැරයන් ඇතුළුවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පොලිසියට ගතහැකිව තිබුණා. උද්ඝෝණකරුවන් මැරයන්ව වළක්වන ලෙස පොලිසියෙන් කළ ඉල්ලීම වීඩියෝ පටවල තිබෙනවා. නමුත් පොලිසිය මැරයන් පාලනය කළේ නැහැ. දැනුවත්ව, සංවිධානාත්මකව, සැලසුම් සහගතව ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත මැර කණ්ඩායම්වලට යන්න පොලිසිය ඉඩදුන්නා.

විජිත හේරත් මහතා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා මෙසේද කියා සිටියේය.

අරලියගහ මන්දිරයේ සැලසුම්කර මුදාහැරිය පිරිස් ප්‍රහාරය එල්ල කර දවස් 07ක් වෙනවා. මේ වනතුරු ඒ මැරයන්ට අදාළව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කර නැහැ. ආණ්ඩුව හොරගල් අහුලමින් ඉන්නවා. නමුත් ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට විරුද්ධව රට පුරා ජනතාවගෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් බොහෝ අය අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ ප්‍රහාර අපිත් අනුමත කරන්නේ නැහැ. පොලිසිය කියන විදිහට 230කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ගෝල්ෆෙස් ප්‍රහාරය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේවකයෙක් පමණක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment