සුනාමි ව්‍යසනයට වසර 19යි

188

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර 19 ක් සපිරේ. මේ විපත නිසා ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 31,225 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව ලොව පුරා 2,25,000කට අධික පිරිසකට තත්පර කිහිපයකදී දිවි අහිමි විය.

පෙරවරු 9.27ට ගොඩබිමට පැමිණි උදම් රළ පහරට හසු වූ පැරෑලියේ දුම්රිය අනතුර නිසා 1250කට අධික පිරිසක් මියගියහ. තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර මෙය ලෙස සැලකේ.

සුනාමියේ දී වැඩිම හානිය සිදු වූ රට ඉන්දුනීසියාවය. එරට පුද්ගලයන් 167,540ක් මෙම ඛේදවාචකයෙන් මියගියහ. සුනාමි තත්ත්වය ඇති වූයේ ශ්‍රී ලංකාවට කි.මී. 2500ක් පමණ නැගෙනහිරින් පිහිටි සුමාත්‍රා දිවයිනට කි.මී. 200ක් බටහිර මුහුදේ කිලෝ මීටර් 10කට ඇති වූ භූමිකම්පාවකිනි. මෙය රිච්ටර් මාපකයේ ඒකක 9.3ක් ලෙස සලකුණු කර ඇත. මෙම භූමිකම්පාව මෙතෙක් ලොව වාර්තා වූ දෙවැනි විශාලම භූමිකම්පාව වන අතරම මෙතෙක් ලොව ඇතිවූ භූමිකම්පා අතරින් එක් සිදුවීමකින් වැඩිම ජීවිත හා දේපළ හානි සිදු වූ විශාලම ස්වාභාවික ආපදාව ද විය.

ඉන්දුනීසියාව අසල පෘථිවි තල හා ඉන්දීය කලාපයේ තල එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම භූ චලනය ගැන ඇමෙරිකානු භූ චලන ආයතනය අනතුරු අඟවා තිබුණත් ඉන්දුනීසියානු සාගරයේ පිහිටි රටවල් රැසක් සඳහා අනතුර ගැන දැන්වීමට නොහැකි විය. මේ භූචලනය විනාඩි 8 ක් 10 ක් අතර පැවැති බවට වාර්තා විය. එසේම ඉන් ඇති වූ සුනාමියේ බලය ඇමෙරිකාව විසින් හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් 1808 වරක් බලසම්පන්න බව සාගර විද්‍යාඥයෝ හෙළි කළහ. එසේම සමස්ත පෘතුවි තලය සෙන්ටිමීටර 1ක පමණ ප්‍රමාණයකින් කම්පනය කිරීමට මෙම භූමිකම්පාව සමත් වූ අතර ඇලස්කාව වැනි ඉතා ඈත ප්‍රදේශවල අනෙකුත් භූකම්පන ඇති කරවීමටද එය සමත් විය. සුනාමිය නිසා ජගත් මුහුදු මට්ටම මිලිමීටර් 0.1කින් ඉහළ ගොස් ඇතැයි හෙළිව තිබේ.

සුනාමියෙන් මෙරට පුද්ගලයන් 4100ක් අතුරුදන්ව තිබිණි. දිස්ත්‍රික්ක 13ක නිවාස 63472ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර නිවාස 41600ක් අර්ධ වශයෙන් විනාශ විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සුනාමිය නිසා විශාල හානියක් ඇති වූ අතර ආර්ථික සංවර්ධන වේගය 0.5% කින් අඩුවිය. මෙය මූල්‍යමය වශයෙන් ගත්විට ඇමෙරිකානු ඩොලර් මිලියන 900ත් 930ත් අතර ප්‍රමාණයක් වෙතැයි තක්සේරු කොට තිබේ. ලංකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දුන් ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්ත මේ අතර ප්‍රධාන වේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment