මත්කුඩු ජාවාරම්කරුවන් එල්ලා මරන්න හදන කොට එදා අගමැතියි විපක්ෂනායකයි විරුද්ධ වුණා

776

ශ්‍රීලනිප සංවත්සර උත්සවයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි
රටේ තිබූ හොඳම සැලසුම 70 -77 මැතිනියගේ ආණ්ඩු කාලයේ උපාලි ෆියට් කාර් පවා නිර්මාණය කළා

රටේ දේශපාලන පක්ෂවල වැඩිවීමක් තුළින් කල්ලි කණ්ඩායම් වැඩිවීමෙන් රටේ සමගියට බාධාවක් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරය උත්සවය අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

“එක්වෙමු…වෙනසකට සැරසෙමු”‍ මැයින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය පැවත්විණි. එහිදීමෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

මීට පෙර කතා කළ සියලු‍ දෙනාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයත් පවතින දේශපාලන තත්ත්වයත් සහ අප යන ගමන ගැනත් සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිටම ගමන් කළේ ලෙහෙසි පහසු ගමනක නෙවෙයි. පක්ෂයේ ආරම්භයේ සිට අද දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අද ලංකාවේ සියලු‍ම දේශපාලන පක්ෂ ආරවුල් සහගතයි. ඒ වගේම අර්බුද සහිතයි. ඉදිරියට පවත්වන ජනාධිපතිවරණය සඳහා බහුතරයගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. දේශපාලන පක්ෂවලට අද වැඩ කරන්නේ කිසිම හේතුවකට පක්ෂය දමා නොයන පක්ෂය තුළ සිටින පිරිසක් පමණයි. රටේ ජනගහනයෙන් සියයට හැටක් පමණ ඉදිරි මැතිවරණයේ දී ඡන්දය දිය යුත්තේ කාටද කියලා තවම තෝරාගෙන නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තවමත් ඡන්දය දීමට තෝරාගෙන නැති සියයට හැටක් පමණ ජනතාව ආකර්ෂණය කරගන්නේ කොහොමද? ඔවුන් දිනාගන්නේ කොහොමද? ඒ අය සංවිධන ගත කරන්නේ කෙසේද? කියන අභියෝගය අපි සතුව තියෙනවා. ඒ අභියෝගයට ප්‍රධාන වශයෙන්ම පක්ෂයේ සියලු‍ දෙනාගේ දැඩි සමගිය සහ සහෝදරත්වය මිත්‍රශීලීත්වය බලපානවා. අපිට තමන්ගේ හෘද සාක්ෂිය අනුව වැඩ කරලා ජනතාව අතරට යන්න පුළුවන්. අපි සතුටක් කරගන්න පුලු‍වන් වෙන්නේ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණයි. ආණ්ඩුවක්

පිහිටුවාගැනීමට නොහැකි වුණොත් අපගේ ප්‍රතිපත්ති සහ දර්ශනය තුළ අපිට නැවත අවුරුදු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ පොදු ජනතාව කරදයට පත් වෙනවා.

පවතින දේශපාලන තත්ත්වය අපි ඔබ දන්නවා. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය දුගීභාවය සහ දුප්පත්කම කියලා අපි දන්නවා. මේ දුප්පත්කමත් සමග අපට ලෙඩ රෝග හැදෙනවා, ඒවා වර්ධනය වෙනවා. තවත් පැත්තකින් දුගීභාවය නිසා ළමා අපචාර, මත්කුඩු, මංකොල්ලා කෑම් වැනි අපරාධ ක්‍රියා වැඩි වෙනවා. මගේ කාලයේ මත්කුඩු ව්‍යාපාරිකයන් එල්ලා මරන්න මම

නියෝග කළා. ඒකාලයේ සිටි මාගේ

අගමැතිතුමා සහ විරුද්ධ පක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවට දුවගෙන ගියේ මේක කරන්න හොඳ නෑ කියලා. මානව හිමිකම් නැතිව යනවා කිව්වා. මේ රටට එල්ලු‍ම්ගහ හොඳ නෑ කිව්වා. ගමේ හෝ නගරයේ ජීවත්වෙන ඔබ දන්නවා ඇති මත්ද්‍රව්‍ය වලින් බරපතළ සමාජ අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා කියලා. අද ගෙවල්වල අම්මාට තාත්තට අයියාට මල්ලිට ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ මැතිණිය මේ රටේ දේශපාලනඥයින්ට හොඳ පාඩම් කියලා දුන්නා. බණ්ඩාරනායක මැතිතුමාගේ 56 ආණ්ඩුව කියන්නේ දේශපාලන පක්ෂවල බලවේගයක ආණ්ඩුවක් නොවෙයි. එදා තිබුණු සංස්කෘතික බලවේගවල වේදිකාවකින් බිහිවුණු ආණ්ඩුවක් කියලා මම කියනවා. බි්‍රතාන්‍ය පාලකයන්ගෙන් නිදහස ලැබුණට පස්සෙ ගමේ ගොවියා, කම්කරුවා, ගුරුවරයා, ධීවරයා, කල්පනා කෙරුවේ කෝ අපට නිදහස කියලා. ඒ ලැබුණු බලවේගවල එකතුවකින් හැදුණු වේදිකාවක් තුළින් තමයි 56 දේශපාලන බලවේගය ඇති වුණේ.

මා දුටු හොඳම සැලැස්ම තමයි 70 – 77 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වීම. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම කර්මාන්ත ශාලා බිහි වුණා. 1977 උපාලි ෆියට් කාර් එක නිර්මාණය කරලා ජනසතු කළා. නමුත් 77 න් පසු ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුවේදී ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රමය නිසා මේ සියල්ල අහිමි වුණා. ඒ නිසා තමයි චීනයෙන් තවම බැලු‍ම්බෝලය පවා ගෙන එන්නෙ. 77 න් පසු අපට තිබුණු මහා කර්මාන්ත අපිට නැති වුණා. විවෘත ආර්ථිකයේ අයහපත් පැත්තක් නිසා මේ රට බංකොලොත් තත්වයට පත් වුණා.

දේශපාලනඥයා ප්‍රභූ මානසිකත්වයෙන් වෙන් වෙන්නට ඔනෙ. දේශපාලනඥයෝ එක් එක් විදිහට හැසිරෙන්න පටන් අරගෙන තියෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේ රටේ දේශපාලන සංස්කෘතිය රටේ සංවර්ධනයට විශාල බාධකයක්. දේශපාලනඥයා ජනතා සේවකයෙක් විනා ජනතා ප්‍රභූවරයෙක් නොවිය යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා

එදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලන ආණ්ඩුව තුළ නිසි ආර්ථික වැඩපිළිවෙළක් තිබුණා. ඒත් අවාසනාවකට ඒක ක්‍රියාත්මක කරන්න බැරිවුණා. එදා ඉඳල නිදහස් පක්‍ෂය හිර කරල තියෙන්නෙ. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කළ යුතු කාලය ඇවිල්ල තියෙනවා.

ඒ නිසා අපි හරි තීරණයක් ගත යුතුයි. අපි ආණ්ඩුවේ ඉඳන් දේශපාලනය කරනවද? නැත්නම් විපක්‍ෂයක් ලෙස එකට එකතු වෙලා වැඩ කළ යුතුයි. අද ආණ්ඩුවට ඩොලර් අර්බුදයට විසඳුමක් නැහැ. අස්වැසුම ගෙනල්ල ජනතාව සතුටු කරල වැඩක් නැහැ. ඒ නිසා අපි පක්‍ෂය උඩ හදාගෙන ඉදිරියට යා යුතුයි.

මෙම සංවත්සරය සඳහා මහා සංඝරත්නය ඇතුළු පූජකතුමන්ලාද, අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, ශ්‍රීලනිප මහ ලේකම් නීතිඥ දයසිරි ජයසේකර, උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, රෝහණ ලක්ෂමන් පියදාස, පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන්ද ඉන්දියානු මහකොමසාරිස් ප්‍රමුඛ චීනය, කියුබාව ආදී රටවල් නියෝජනය කරන නියෝජිතවරුන්ද සුබ පතන්නට සහෝදර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් මහජන නියෝජිතයන් පිරිසක්ද ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් තරුණ කාන්තා හා වාත්තීය සමිති නියෝජිතයන් රැසක් සහභාගී වූහ.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment