මහා සාගත අමර විසඳුම

101

ඉක්බිති අසරණ සරණ වූද, මහා බහුශ්‍රැත වූද, ප්‍රඥාසම්පන්න වූද, පැන විසඳුමෙහි මනා විචක්ෂණ වූද අප මහා චූලෞෂධයෝ එක් පැහැබර දිනෙක උදෑසනක් සේ පිබිද මුව දෙවීම් හා ශරීර කෘත්‍යාදී කටයුතු නිම කොට ප්‍රිය දේවිය විසින් පිස දෙන ලද්දාවූ ඖෂධ ශාකසාර බඳුන සුරතින් ගෙන උණුසුම් බැවින් මඳින් මඳ පානය කෙරෙමින්, ඉදිරි අංගනයෙහි වූ මණ්ඩපයෙහි තන්හි තන්හි තප්පලං ලා ගෙනදැ, ඇණ බා ගෙනදැ හිඳිමින් දේවිය විසින් සපයනා ලද්දා වූ නේක පාතරාස අහරින් සප්පායම් වෙමින් හා එසේ සප්පායම්වැ නිම වූවන් මනා ලෙස ඔප දමනා ලද්දා වූ වට්ටලෝහමය සෙප්පු වලින් ගත් බුලත්පත් හා සුණු පුවකාදී එබැඳි කළමනා ගෙනැ මුවෙහි දමා සපමින් රක්ත වර්ණ කේඨ පදාස තන්හි තන්හි තබන ලද්දා වූ වට්ටලෝහමය පඩික්කම්හි හෙළැමින් සාද කතා ලතාවෙහි ගැලෙමින් හිඳිනා තුමූ බැහැ දැක්ම පිණිස ආ මඤ්ඤං හුදී ජනයින් දෙස බලනුයේ, උන්ගෙන් වෙන්වැ සාකච්ඡා මණ්ඩපයෙහි එක් පසෙකට වන්නට රැස්ව යම් කාරණයෙක් ගැනැ දැඩි වාද විවාදයෙහි ගැලී සිටිනා වූ ස්වල්පයක් වූ පිරිසක් දැකැ උන්ගේ කතාය කිසියම් වූ වැදැගත් යමක් විෂයයෙහි බැව් දැනී ඒ කිමෙක්දැයි විමසනු වස් උන් සමීපයට ගොස්,“එම්බා ජනයනි, අනෙකුන්ගෙන් වෙන්වැ තෙපි කුමක් කතිකා කෙරේදැ? එපවත් අප දැනගැනුම තොපට නොරිසි වේදැ?”යි විමසනාහ. චූලෞෂධයන්ගේ එබස් ඇසූ ජන පිරිස, “අහෝ එවැන්නක් නොව ස්වාමීනී, අප කතිකා කරන ලද්දේ අභිනවයෙන් පත් වූ ගොයිතැන් ඇමැට්ටාගේ මංගල මැදි හමුව පිළිබඳවයැ ස්වාමීනී.” යැයි බෝ යටහත්වැ පිළිවදන් කරනාහ. චූලෞෂධයෝද ඉමහත් උනන්දුයෙන් යුත්තේ, “කිමෙක්ද සකියනි, භෂ්ම පොහොර නොමැතිව පාළු වූ ගොයිතැන් අරභයා එතුමන් සාධනීය වූ කඩිනම් විසඳුමෙක් ගෙනැවිත් ඇත්තේදැ?”යි අසනාහ.

“එසේයැ ස්වාමීනී, ළඟ එනා සාගතයට පිළියම් ලෙසැ එතුමන් අපට මයියොකු දණ්ඩක් හා බතලෙය නටුවක් සිටුවා ගන්නැයි යෝජනා කරනායැ.”යි උන් පිළිවදන් දුන් කල්හි චූලෞෂධයෝද භ්‍රමණ කොට අතහැරි කලෙක මෙන් අන්ද මන්දවැ, “ඉදින් සකියනි, එබැව් කීමට මෙකී දුෂ්කර අවස්ථාවේ දෑහිත ධනය කෙළ ගණනින් වැය කොට ඇමැටියෙක් පත් කොට ගතයුත්තේදැ?”යි අසනාහ. “ස්වාමීනී, උහු කියනා වදන් ඇසූ කල්හි අප හද කෙසේ වාවම්දැ”යි එකකු කියූ කල්හි චූලෞෂධයෝ තවදුරටත් අන්දමන්දව, “ඒ කිමෙක්දැ?”යි ඇසූ කල උහු කියනුයේ, “භෂ්ම පොහොර එවුම් පිණිසැ මනාප වූ එකදු රටක්වත් සොයාගත නොහැකිව ඇත්තේයැ. එබැවින් මෙවර කන්නය පිණිසැ පොහොර ලැබෙනා වූ දිනයක් කිව නොහැක්කේයැ. පසුගිය කන්නයන්හි වගාවනට වූ හානි පිණිස වන්දි දෙනු තබා ගොයිතැන් ඇමැතෑංස සේවකයන් පිණිසැ වේතන පවා ගෙවාගත නොහැක්කේයැ. ඇමැතෑංසය සතුව කහවනු සියයක්වත් නොමැත්තේ යැයි අසරණ එතුමන් සෙම් සොටු සූරමින් කියනායැ”යි එකී මානවකයා ශෝකභරිත ස්වරයෙන් ගොයිතැන් ඇමැට්ටා කියූ දෑ පවසනායැ. චූලෞෂධයෝද නස්පුක්වැ යන්නේ කුමක් කියත්දැයි නිනව් නොමැතිවැ සිටිනුයේ කිසියම් වූ වැදගත් සාකච්ඡාවෙක් නොවේදැයි විපරමයිස කරනා වූ බුලත් සපමින් සාද කතායෙහි ගැලී හුන් අනෙක් ජනයින්ද එදෙසට විත් වාඩිලා ගන්නාහ. “ඉදින් මුහු හස්ත පක්ෂයේ නායකකාරකාදීන්ගේ අණ නොතකා තුමූ ඉන් නෙරපාලනු ඇත්තේයැයි දැන දැනමැ එකී වෑස්තෑව උල්ලංඝන කොට මෙකී ඇමැටි ධුරය ඩැහැගෙන දැන් නාසිකාවෙන් හඬනුයේ මන්දැ”යි චූලෞෂධයෝ ඇසූ කල්හි එතැනට පැමිණි එකෙකු, “ස්වාමීනී, මුහු පමණක් නොවේයැ, අභිනව බලශක්ති ඇමැට්ටාද කියනුයේ බලශක්ති මිල මහා පරිමාණ ලෙස ඉහළ දමනු ඇති බවත් හා තුමු තුමූ සූර්ය පැනල සවි කරගන්නා ලෙසත්යැ.”යි කියනායැ. එබස් ඇසූ තවකෙකු, “ස්වාමීනී මුන් එකෙකුදු පැමිණ සිටින්නේ මේ මහා වෑසනයෙන් අප මුදවනු පිණිසැ නොවන්නේයැ. මඤ්ඤංලන්තය මිහිදන් වන්නට පෙරාතුවැ තව කහවනු කිහිපයක් හෝ උපයනු පිණිසැ වන්නේයැ.”යි කියනායැ. පුඟුලාගේ එකී සැහැසි වදනින් අන්ධභූත වූ චූලෞෂධයෝ කුමක් කියත්දැයි යළි අන්දමන්ද වනුයේ ‘මෙකී ජනයින් එපමණටමැ දේසපාළුවන් පිළිකුල් කෙරේදැ’යි සිතනුයේ එකෙණෙහිමැ තවකෙකු,“එපමණක් නොව ස්වාමීනී, තවද මුහු, හැකි අයෙක් වනගතව එහි ඇත්තා වූ පලවැල අනුභව කොට දිවි රැකගනුවයි අපට උවදෙස් දෙන්නාහ.”යි දන්ත මුෂ්ටි සපමින් කියනායැ. “භෂ්ම පොහොර තහංචි කොට මඤ්ඤංලන්තය මෙකී සාගතයට රැගෙන ගියා වූ රජසබ ඇමැටි කැලතෙහි මුහු ද සිටියේ නොවේදැ”යි තවකෙකු සිහි නඟනායැ.

මෙකී සියලු වදන් අසා සිටියා වූ චූලෞෂධයෝ, “ජනයිනි අප දැන් කළයුත්තේ එකිනෙකුට දොස් පැවරුම නොවන්නේයැ. මෙකී වෑසනයෙන් ගොඩ එනු පිණිසැ පිළියම් සෙවුම වන්නේයැ. ඉදින් තොප නැණ පමණින් ඊට විසඳුම් යෝජනා කරව්”යැයි පවසනාහ. එකල්හි මඳ වේලායෙක් කල්පනායෙන් හිඳිනා වූ ජන පිරිස අතරින් එකෙකු නැගී සිට, “ස්වාමීනී අපට නම් ඇමැටි උතුමා කී ලෙස මයියොකු දණ්ඩක් බතලෙය නටුවක් සිටුවා හෝ එසේ නැතහොත් වනගතව පලවැලක් උලා කා හෝ දිවි රැකගත හැක්කේයැ. අපට එසේ වුවද එතුමන් නඩත්තු පිණිස ඇමැතෑංස කහවනු සියයෙන් කුමක් කළහැක්කේදැ? ඉදින් ඊට කහවනු සොයා ගැනුම පිණිස කදිම කල්පනායෙක් පහළවීයැ” යි උහු කී කල්හි චූලෞෂධයන් ඇතුළු සියල්ලෝ මහත් වූ උනන්දුයෙන් එකී විසඳුම අසනා පිණිසැ සවන්පත් කුළු සේ තිරස් කොට සැරසෙනාහ. එකී මානවයා මහත් ගර්වයෙන් තුමූ හඬ අවදි කරනුයේ, “මීට මඳ කලෙකට මත්තෙන් රාජගිරිපුර මහල් මැඳුරක් කුලී පිණීසැ ගෙන සිව් වසක් මුළුල්ලේ ඊට කෙළ කෝටි ගණනින් කහවනු ගෙවා තවත් කෙල කෝටි ගණන් වැය කොට එකී මැඳුර පිළියම් කොට එකී මුළු කාලයම එකී මැඳුර සිස්ව තබා මැඳුර හිමි නෘත්‍යාංගනාවකට මාස් පතා කහවනු කෙළ ගණනින් ගෙවමින් කළ මහා අපරාධය තොපට නොමතකදැ?”යි අසා හුන් තැනින් නැගිට තුමූ ගමන් ඔලොගුව කරෙහි ලාගෙනැ පිටව යන්නට සූදානම් වන්නායැ. මුව අයාගෙන එකී වදන් අසා සිටි අනෙකුන්, එකී පුඟුලා සැරහෙනුයේ කවරකටදැයි වටහාගත නොහී, “ඉදින් තොප කොහි යෑමට තනනේදැ?”යි ඇසූ කල්හි උහු, “තෙල නෘත්‍යාංගනාව හමුව පසඟ පිහිටුවා වැඳ හෝ පෙරකල්හි ගොයිතැන් ඇමැතෑංසයෙන් ලැබූ මහා ධනස්කන්ධයෙන් අඩක්වත් පින් පිණිසැවත් ලබාගත හැකිදැයි විමසුම් පිණිසැ යන්නෙම්යැ. ඇමැටි උතුමාගේ නඩත්තුව පිණිසැ හා සේවක වේතන පිණිසැ එකී පුණ්‍ය මුදල වැය කළ හැක්කේයැ. අප දුක අසා එතුමියට දැහැමි සිතක් පහළ වුවහොත් අප ගොඩයැ”යි පිළිවදන් දෙන්නාහ. එවදන් ඇසූ චූලෞෂධයෝ අඤ්ඤකොරොසව යනුයේ තවකෙකු වහා නැගිට, “එම්බල සකිය, තොප යන ගමන් මුඩු සිරස් දුමිඳුවා ද කැටුව ගියහොත් යහපතැ”යි කියනායැ. තවකෙකු වහා පැනැ, “උහු පමණෙක් නොසෑහේයැ. දුමිඳුවාට අනුවැ නම් විකුම්සිහයාද කැටුව යායුත්තේයැ”යි කියූ කල්හි චූලෞෂධයෝ දෙපා වාරු නොමැත්තේ එතැන්හිමැ හිඳ ගන්නාහ.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment