තාවකාලික සතුට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න එපා – සීයාගෙන් අතවර වූ දරුවාගේ මවට උසාවියෙන් දැඩි අවවාද

1359

දරුවන් සිටින මවක් තාවකාලික සතුටක් වෙනුවෙන් එම දරුවන්ගේ අනාගතය අඳුරු වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවත් මවක් යන වචනයේ උත්තරීතරභාවය රැකගෙන දරුවන් දෑස් දෙක මෙන් රැකබලා ගැනීම මවකගේ වගකීම හා යුතුකම බවත් පෙන්වා දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහත්මිය විවාහක කාන්තාවකට තරයේ අවවාද කළාය.

වෙනත් දීගයක යෑමට අවශ්‍යම නම් කළ යුතුව තිබුණේ දරුවා විනාශවීමට ඉඩ නොහැර ඔහුවත් රැගෙන යෑම වන්නේ යැයිද අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම මවට අවවාද කරමින් පැවසුවාය.

සිය මව වෙනත් පුද්ගලයකු සමග පිට පළාතකට ගොස් නව යුග දිවියක් ආරම්භ කිරීම නිසා සිය පියා සමඟ නිවසේ ජීවත්වූ හත්හැවිරිදි පිරිමි දරුවකුට බරපතළ ලිංගික අතවර කළේ යැයි කියන එම දරුවාගේ සීයා සහ පියාගේ මිතුරන් දෙදෙනකු ලබන 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම අවවාදය කළාය. අතවරයට ලක්වූ පිරිමි දරුවාද රැගෙන ඔහුගේ මව ඊයේ (10දා) අධිකරණයට පැමිණ තිබූ අතර ඔවුන්ව ඉදිරියට කැඳවූ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය මින් ඉදිරියට හෝ දරුවාගේ අනාගතය විනාශ නොකර ඔහු දෑස මෙන් රැකබලා ගන්නා ලෙසටද මවට තරයේ අවවාද කළාය.

එතරම් අවශ්‍යතාවක් ඇත්නම් එකී අවශ්‍යතා සපුරා ගැනීමට ගැළපෙන අයකු තෝරා ගන්නා ලෙසත් මල්කැකුළු වැනි මෙවැනි අසරණ දරුවන් එවැනි අසංවර ක්‍රියා සඳහා යොදා නොගන්නා ලෙසත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්ති කූඩුවේ සිටි මැදිවියේ සැකකරුවකුටද තරයේ අවවාද කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment