මාධ්‍යවේදී නංගිගේ සිහින සැබෑ කළ ජේකර් අයියා

764

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පෙරේදා (04 වැනිදා ) පැවති පන්දු වාර විස්සයි විස්ස තරගයෙන් අනතුරුව පවත්වන ලද මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදී ෂකිලා බොබී එම තරගයේ නිල නොලත් වීරයා වූ ජේකර් අලිගෙන් ප්‍රශ්නයක් ඇසුවාය.

යොවුන් පිතිකරු ජේකර් අලි එම තරගයේදී පන්දු 34කදී ලකුණු 68ක් ලබාගෙන සිටි අතර එයට හයේ පහර 6ක්ද ඇතුළත් විය.

“ඔයා මේ දැන් සිල්හෙට්වල ඔයාගේ පළමු තරගය ක්‍රීඩා කළා. ප්‍රේක්ෂකයෝ ඔයාගේ නම ජප කළා. ඒ හැඟීම ඔබට මොන වගේද දැනුණේ?” මාධ්‍ය සාකච්ඡා ශාලාවේ පිටුපස සිටි මාධ්‍යවේදී ශකිලා ඇසුවාය. “නංගී, මම කවදත් මේ ස්ථානයේ ක්‍රීඩා කිරීමට ප්‍රිය කළා. මම මගේ පළමු පෙළ තරගය ආරම්භ කළේ මේ ක්‍රීඩාංගණයේදීයි. මම දන්නවා මේ ස්ථානයේ කඩුල්ල සහ වාතාවරණය. ඒ සියල්ල හොඳයි, නමුත් අපි දිනුවා නම් එය විශිෂ්ටයි. ක්‍රීඩාව එහෙම තමයි,” ජේකර් පිළිතුරු දුන්නේය.

ජේකර් සහ ශකිලා සහෝදර සහෝදරියන් බව ඒ වන විට දැන සිටියේ එම මාධ්‍ය ශාලාවේ සිටි පිරිසෙන් කිහිප දෙනෙක් පමණි. සිල්හෙට් වෙත ගමන් කළ ඩකාහි මාධ්‍යවේදීන්ගෙන් වැඩි දෙනෙකුට ඒ ගැන අවබෝධයක් නොතිබුණි. නමුත් අනතුරුව ඒ පිළිබඳව උනන්දුව වැඩි විය. තවත් මාධ්‍යවේදියෙකු ජේකර්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ඔහුගේ සහෝදරිය ඉහත ප්‍රශ්නය ඇසුවේද යන්න නිවැරදිව තක්සේරු කර ගැනීමටයි.

“ඇය මා ගැන ආඩම්බර විය යුතුයි. ඇය සතුටින් සිටින බව පෙනේ.” ජේකර් අනෙක් මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ලැජ්ජාශීලී සිනහවකින් පිළිතුරු දුන්නේය.

ශකිලා බංගලාදේශයේ දිනපතා පළවන පුවත්පතක් වන කොබෝර් කගෝජ් හි සිල්හෙට් වාර්තාකරු වේ. ඇගේ සැමියා මමුන් හුසේන් එම පුවත්පතේම ඡායාරූප ශිල්පියෙකි. ඔවුහු තම සිඟිති දරුවා වන සයියාරා මහේක් ද රැගෙන, මාධ්‍ය කුටියේ සිට තරගය නැරඹූහ. ජේකර් ඔහුගේ විශාල හයේ පහරවල් එල්ල කරන විට සිඟිති දියණිය කිහිප වතාවක්ම ඔල්වරසන් දුන්නාය.

පුවත්පත් සාකච්ඡාවෙන් පසු, ජේකර් ඔහුගේ සහෝදරියගේ පවුල සමග සම්බන්ධ විය. අනතුරුව ශකිලා සෙසු මාධ්‍යවේදීන් සමග කතා කළාය. “මාධ්‍ය සාකච්ඡාවකදී ජේකර්ගෙන් ප්‍රශ්නයක් ඇසීම මගේ සිහිනයක් විය” ඇය ප්‍රීතියෙන් ඉපිල යමින් පැවසුවාය. “එය කවදා හෝ සැබෑ වන බව මම කවදාවත් දැන සිටියේ නැහැ.” ශකිලා පැවසුවාය.

ජේකර් එම තරගය අවසන් ඕවරය වෙත ගෙන ගිය නමුත්, ඉලක්කය කරා ළඟා වීමට නොහැකි විය. ඒ පිළිබඳව ජේකර් මෙසේ පැවසුවේය. “මහමුදුල්ලා රියාද් මට කිව්වා සාමාන්‍ය විදියට බැට් කරන්න කියලා. මට අමතර සැලසුම් තිබුණේ නැහැ. ඔහු ප්‍රහාරාත්මක වේගය රඳවා ගෙන ක්‍රීඩා කිරීම නිසා මගේ පීඩනය අවම වුණා.

මාධ්‍යවේදී නංගිගේ සිහින සැබෑ කළ ජේකර් අයියා
ජේකර් අයියා

අන්තිම ඕවරයේදී මම රිෂාඩ් හුසේන්ගෙන් මට ස්ට්‍රයික් එක දෙන්න කිව්වා. ඒත් එයා අවුට් වුණා. අන්තිම පන්දු හතරෙන් අපිට ලකුණු 10ක් අවශ්‍ය වෙලාවේ මම ස්ට්‍රයික් එකේ හිටියා. මට විශ්වාසයක් තිබුණා තරගය දිනන්න පුළුවන් කියලා. මම හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. නමුත් මම පන්දුව හරිහැටි අවබෝධ නොකර ගෙන එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙස පන්දු රකින්නාගේ අතට ගියා.”

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment