වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම්

1519

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ රාජකාරි පැහැරහැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් ඔවුන් සතු දේපළ, ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කිරීමට හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය.

ඒ අනුව තමන් වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් සහ ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීමට දඬුවමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 12 දා නියම කළ වන්දි මුදල් නොගෙවා සිටීමේ කිසිදු නීතිමය අවසරයක් එම වගඋත්තරකරුවන් 05 දෙනාට හිමි නොවන බව ද නීතිය පිළිබඳ විශාරදයකු වන හෙතෙම සඳහන් කළේය.

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් එම වගඋත්තරකරුවන් ඇතුළු එවකට රාජ්‍ය බලය හෙබවූ දේශපාලන අධිකරිය මෙන්ම පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ඔවුනගේ රාජකාරී වගකීම් පැහැර හැරීමට එරෙහිව ප්‍රහාර එල්ලවී දින තුනක් ඉක්මවා යෑමට මත්තෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර පළමු වෙඩි මුරය පත්තු කළ පෙත්සම්කරු ද වන හෙතෙම මෙසේ කීය.

මෙම නියෝගය මෙරට අධිකරණ ඉතිහාසයේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ලබා දුන් ඓතිහාසික මෙන්ම ශ්‍රේෂ්ඨතම තීන්දුවක්. රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව ලබා දුන් තීන්දුවට අභියාචනා කළ හැකි තවත් ඉහළ අධිකරණයක් නෑ.

අධිකරණය ලබා දුන් මාස 06ක කාල සීමාවේදී එම වගඋත්තරකරුවන් අනිවාර්යයෙන්ම මෙම වන්දි මුදල ගෙවිය යුතුයි. නීතිපතිවරයාට දැනටමත් අධිකරණය නියෝග කරලා තිබෙන්නේ මෙම මුදල් නිසි අරමුදලකට බැර කර අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලා. එම නිසා නීතිපතිවරයා එම නියෝගය ඉටු කළ යුතුයි. එහෙම නොකළොත් අපි ඒ ගැන අධිකරණයට පැමිණිලි කරනවා. අධිකරණ නියෝග කැඩුවොත් අධිකරණයට ඒක අපහාසයක් වෙනවා. ඒ පදනම මත විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්න උසාවියට පුළුවන්. එම මුදල් දඩයක් ලෙස අය කර ගන්න නියෝග කරන්නත් පුළුවන්. පෙත්සම්කරුවන්ගෙන් දිවුරුම් ප්‍රකාශ කැඳවලා ඔවුන් සතු දේපළ තහනම් කරන්න, බැංකු ගිණුම් හා ඔවුනට ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කර හෝ ඒ මුදල් අය කර ගන්නත් පුළුවන්. වන්දි මුදල් නොගෙව්වොත් සිර දඬුවම් නියම කරන්නත් පුළුවන්. මේ තීන්දුවට එරෙහිව අභියාචනාවක් කරන්න ඉඩක් නෑ. තීන්දුව දීලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින අඩකටත් වැඩිවූ විනිසුරු මඬුල්ලක්.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment