සැබෑ ඝාතකයන් කවුද කියා සොයනවා!

350

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් සාමාජිකයන් විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික මෙන්ම යුක්තිය හා සාධාරණත්වය මැනවින් ලබාදුන් තීන්දුවක් බවත්, නීතියේ ආධිපත්‍ය දේශපාලකයන්ගේ තීන්දු මුළුමනින් වෙනස්කරන තීන්දුවක් බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා කොළඹ අගරදගුරු නිවසේ සිකුරාදා (13 දා) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළහ.

ජනපතිවරයාට හෝ ඉහළ නිලධාරීන්ට නීතියෙන් පැනයෑමට බැරි බව වත්මන් පාලකයන් පමණක් නොව අනාගත පාලකයන් හා රජ්‍ය නිලධාරීන් දැනගත යුතු බැව් ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කීවා පාස්කු ඝාතන පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව. එහි සත්‍ය සොයා යන ගමනේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව ඉතා වැදගත් එකක්. සැබෑ ඝාතකයන් කවුද? යන්න පැහැදිලිවම පෙනෙන තුරු අප ව්‍යායාමය තවදුරටත් ඉදිරියට ගෙන යනවා යැයි ද කාදිනල්තුමා කීවේය.

නීතිය දේශපාලකයන්ට ඕනෑ විදියට මෙහෙයවිය නොහැකි බව ද නීතිය බලවතාට එකක් දුබලයාට එකක් වශයෙන් තිබිය නොහැකි බව ද පොලිස්පතිවරයා හා පොලිසිය දේශපාලකයන්ට ඕනෑ විදිහට කටයුතු කිරීම සම්පූර්ණ වැරදියි යැයි ද අගරදගුරුතුමෝ තවදුරටත් සඳහන් කළහ.

යුක්තිය වෙනුවෙන් කෑගසූ මිනිසුන්ගේ මූලික අයිතීන් වෙනුවෙන් ක්‍රියා කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට මෙන්ම ඒ සඳහා පෙනී සිටි නීතිඥයන්ට ද ස්තූතිය පළ කරන බව ද කාදිනල්තුමා පැවසූහ.

ජුඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment