මෙරට විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ඇති කළ යුතුයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ CVCD විශිෂ්ටතා සම්මාන උළෙල අමතමින් කියයි

124

එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ඇති කළ යුතුයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ CVCD විශිෂ්ටතා සම්මාන උළෙල අමතමින් කියයි

එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ පසුගිය(09)දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන”‍ උළෙල අමතමිනි.

මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු‍ කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුටම නිසි වයසේදී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යෑමට හැකි පසුබිම නිර්මාණය කළ යුතු බවද සඳහන් කළේය.

වසර දෙකකට වරක්ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන “CVCD විශිෂ්ටතා සම්මාන”‍ උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ.

ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසින් මෙහි

පිළිගැනීමේ කතාව සිදු කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදු කළාය. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව්‍ය පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම උදෙසා ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාවද ඇගයීමට ලක් කෙ‍රිණි.

වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනැමිණි.

මෙවර සම්මාන උළෙලේදී 2022 වසර සඳහා වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මාන, සම සෞඛ්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය සහ තාක්ෂණය, මානව ශාස්ත්‍රය, ජීව විද්‍යාව, කළමනාකරණ අධ්‍යයන, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාව, ස්වභාවික විද්‍යාව, සමාජ විද්‍යා සහ නීති අධ්‍යයනය යන අධ්‍යයන ක්ෂේත්‍ර අටක් වෙනුවෙන් පිරිනමනු ලැබීය.

ඒ අනුව මහාචාර්ය බී.ඒ.කේ.එස් පෙරේරා (මොරටුව විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඩී.එම්. දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අරෝෂා සරංගී අදිකාරම් (කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය ෂාමන් රජින්ද්‍රජිත් (කොළඹ විශ්වවිද්‍යාලය), එල්.බී.ඩී.ආර්.පී. විජේසුන්දර (කැලණිය විශ්වවිද්‍යාලය) සහ මහාචාර්ය එස්.පී. කරුණානායක (විවෘත විශ්වවිද්‍යාලය) යන මහත්ම මහත්මීන් වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආචාර්ය ඒ.එන්. මදුශංක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය කේ.කේ. අසංක සංජීව (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය ඩබ්ලිව්. එච්.එම්. සංජීව සමරතුංග (රජරට විශ්වවිද්‍යාලය) වෛද්‍ය එම්.බී. කාවින්ද චන්දිමාල් දයාසිරි

(කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඒ. සඳරුවන් රත්නායක (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) යන මහත්වරු වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු සම්මානය හිමි කර ගත්තේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අපේ රටේ වාර්ෂිකව සිසුන් 1,70,000ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබනවා. එයින් 40,000ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. තවත් 30,000ක් 40,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. නමුත් අපි 40,000ක් වන විශ්වවිද්‍යාල සඳහා සුදසුකම් ලබන පිරිසට අමතරව තවත් 25,000 – 30,000ක් පමණ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල පද්ධතියක් අපට තිබෙනවා. ඒ සමගම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ වගේම ලාභ ලබන සහ නොලබන විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා. ඉතින් මේ ක්‍රම තුනම ක්‍රියාත්මක කරනවාද නැත්නම් එක් ක්‍රමයක් නිර්මාණය කරගෙන විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගනවාද කියා අප අවධානය යොමු කළයුතුයි.

ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා රජය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඒ වගේම තවත් සිසුන් පිරිසක් එළියට ගොස් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබනවා. සියලු‍ දෙනාට අධ්‍යාපනයට ප්‍රවේශවීමට හැකියාවක් තිබිය යුතුය යන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වගන්තිය අප ආරක්ෂා කළයුතුයි.

විවිධ රටවල මෙය විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල් ශිෂ්‍ය ණය ලබා දෙනවා. තවත් රටවල් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට උදව් කරනවා. අපි මේ පිළිබඳ අධ්‍යයනයක් සිදුකළ යුතුයි. එහිදී උපරිම ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමවේද පිළිබඳ අප සළකා බැලිය යුතුයි. අපට ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු වෘත්තිකයින් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කළයුතුයි. එදා අපේ රටේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා.

අපි නැවත අපේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්ව වැඩිදියුණු කරගන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත ලෝකය හමුවේ සහතික කරන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතුයි. මේ තුළින් ලෝකයේ වෙනත් රටවල සිසුන් අපේ විශ්විවිද්‍යාල සඳහා ආකර්ශණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එය අපේ රටේ ආර්ථිකයටද යහපත් තත්ත්වයක් බව කිවයුතුයි.

උපකුලපතිවරුන්ට පහර දෙමින් අධ්‍යාපනයට බාධා ඇතිකිරීම තුළින් ගුණාත්මක විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යා නොහැකියි. මෙම ගැටලු‍ සඳහා අපි කඩිනම් විසඳුම් සෙවිය යුතුයි කියා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු‍

රැසක් තිබෙනවා. සිසුන් අවුරුදු 20ක් පමණ වන තුරු උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අවුරුදු 24ත් පහු වෙනවා. මම උපාධිය ලබාගන්නා විට මට වයස අවුරුදු 21යි. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙක් වුණේ අවුරුදු 23දී. මම හිතන්නේ දැන් සිසුන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ හොඳම කාලය තමයි අපතේ යන්නේ. ඉන්පසුව රැකියාවක් සොයාගැනීමේ ගැටලු‍වට ඔබ මුහුණ දෙනවා. අපි ඉක්මණින් මෙම ප්‍රශ්න විසඳාගත යුතුයි.

ඒ වගේම අද සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රමිතිය වගේම ඇතැම් පර්යේෂණ පිළිබඳව චෝදනා තිබෙනවා. මේ සියල්ල අප නිරවුල් කරගත යුතුයි. අප රට තුළ ප්‍රමාණවත් පශ්චාත් උපාධි අධ්‍යයනයක් තිබෙනවාද යන්න පිළිබඳව මම CVCD කමිටුවේ සභාපතිවරයා සහ උපකුලපතිවරුන් සමග සාකච්ඡා කළා. ඒ වගේම අප සිදුකර ඇති පශ්චාත් උපාධි අධ්‍යයන මොනවාද?

ලංකා විශ්වවිද්‍යාලය “මනමේ” සහ “සිංහබාහු” නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. තනි විශ්වවිද්‍යාලයක් ලෙස ඔවුන් ඒ වෙනස ඇති කර තිබෙනවා. ඔවුන් ලංකා ඉතිහාසය වෙළුම් 04කින් නිෂ්පාදනය කර තිබෙනවා. එහි ඇතැම් කොටස් යල් පැන ගොස් තිබිය හැකියි. නමුත් ඔවුන් සිදු කළ දේ පිළිබඳ අවධානය යොමු කළ විට අනෙක් විශ්වවිද්‍යාල ඒ අසලටවත් පැමිණ නැහැ. අපි මෙම ගැටලු‍ කෙරෙහි අවධානය යොමු කළයුතුයි.

මේ වන විට සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පහසුකම් සියලු‍දෙනාටම තිබෙනවා. ්ෂ තාක්ෂණය හෙවත් කෘතිම බුද්ධිය තිබෙනවා. “ක්‍ය්එ ඨඊඔ ” තිබෙනවා. මේවා විභාග සඳහාත් භාවිතා කරන අතර ඇතැම් ඒවා පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා භාවිතා කරනවා. ඉතින් යල් පැන ගිය ක්‍රම සමඟ සිටිනවාද, නැත්නම් තාක්ෂණය සමඟ ඉදිරියට යනවාද කියා අප අවධානය යොමු කළයුතුයි.

අද සම්මාන ලැබූ ඔබ සියලු‍දෙනාට මම සුබ පතන අතර මෙම පර්යේෂණ තුළින් මෙරට විශ්වවිද්‍යාලවල කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ඔබ සමත්ව ඇති බව කිවයුතුයි. ඒ වගේම මෙම පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේදී වැඩි ප්‍රතිපාදන ලබාදීමට අපි බලාපොරොත්තු වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා.

වව්නියාව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටී. මංගලේශ්වරන් මහතා විසින් මෙහි ස්තූති කතාව සිදු කළ අතර ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටු සාමාජිකයන්, සම්මානලාභී විද්වතුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment